වල්ලාපට්‌ටා


 
ශ්‍රී ලංකාවට ආවේනික වූ වල්ලාපට්‌ටා ශාකය විනාශවෙමින් පවතින තත්ත්වයක්‌ ඇති කාලවකවානුවක්‌ උදාවී ඇතැයි වන සංරක්‍ෂණ නිලධාරීහු සහ පරිසරවේදීහු පවසති.
එයට හේතු වී ඇත්තේ ඉතා වටිනා සුවඳ විලවුන් වර්ග තැනීම සඳහා මෙම ගසින් ලබාගත හැකි අමුද්‍රව්‍යයක්‌ පිළිබඳව තොරතුරු හෙළිදරව්වීමය. මෙහි නියම තත්ත්වය පිළිබඳ අවබෝධයක්‌ නොමැති බොහෝ දෙනා මෙම ගසේ කිරිවලින් හටගන්නා දුම්මල වැනි කොටස සොයා ඉවක්‌ බවක්‌ නොමැතිව කුඩා පැළෑටි පවා කපා දමති. මෙම අනතුරු දායක තත්ත්වයෙන් වල්ලාපට්‌ටා ශාකය බේරා ගැනීමේ අදහසින් මෙම සටහන තබමු. 

වල්ලාපට්‌ටා නාමයෙන් හඳුන්වනු ලබන මෙය ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාක විශේෂයකි. මෙය තෙත් කලාපීය වනාන්තරවල වැවෙන අතර අවුරුදු අටක්‌ පමණ වයසැති වැඩුනු ගස්‌වල බිලයන් තුළින් හා ගසේ සිදුරු වූ ස්‌ථානවලින් වෑස්‌සෙන කිරි විශේෂයකින් සෑදෙන ඇගාවුඩ් හෙවත් රෙසින් නමැති කොටස විශාල වටිනාකමකට මිලට ගැනීමට පටන් ගැනීම නිසා බොහෝ දෙනා මෙය මුදල් ඉපයීමේ අරමුණ ඇතිව කපා විනාශ කරන්නට පටන් පටන් ගැනීම ශෝකජනකයි . 
 අන්තර්ජාතික වෙළදාම  පිණිස තහනම් ශාකාවර්ග පිළිබඳ ලැයිස්‌තුවේ දෙවැනි උපලේඛනයේ මෙම වල්ලාපට්‌ටා ශාක ගැන සඳහන් වෙනවා. පිළිකා සෛල මර්දනයට ඖෂධයක්‌ නිපදවීමට චිකාගෝවලින් 1980 දී පමණ මෙම ශාකායේ දිලීර මගින් හටගන්නා කොටස පරීක්‍ෂණ සඳහා යොදාගත් බවටද තොරතුරු සඳහන් වනවා. මෑතදී පැරිස්‌ සෙන්ට්‌ (සුවඳ විලවුන්) තැනීමට ගන්නා නිසා විශාල ඉල්ලුමක්‌ පවතිනවා.

බළන්ගොඩ හා ආසන්න ප්‍රදේශවල ජනතාවගේ නොදැනුවත්කම නිසා ඉතාම කුඩා පැලෑටි සිය ගණන් කපා විනාශ කර තිබූ බවට තොරතුරු හෙළි වී ඇත .
මෙම ශාකය රත්නපුර, මතුගම, කළුතර, ගාල්ල, සිංහරාජ ආදී ප්‍රදේශවල හොඳින් වැඩෙන ශාකයකි. අතීතයේ අපේ පැරැන්නෝ වහළවල් සෙවිලි කර ලී බැඳීමට පිරිත් මණ්‌ඩපය හා සෙත් ශාන්තිවලදීත් කලාත්මක වැඩවලටත් විශේෂයෙන් කිතුල් මල් මැදීමේදී හැරපට බඳින්නටත් උපයෝගී කරගන්නා  ලදී . ඔවුන් ගස විනාශ නොකර පට්‌ටය ගලවා ගත්තා. එවිට ටික කලකින් යළිත් ගස මස්‌ලා වැඩෙනවා. මෙම වකවානුවේ ජනතාව තුළ ඇති නොදැනුවත්කම නිසා ලොකු කුඩා ගස්‌ සියල්ල කපනවා. 
 ආයුර්වේද වෛද්‍යචාර්යවරුන් පවසන අන්දමට මෙම වල්ලාපට්‌ටා දලු දත් ගැලවීමට පවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව භාවිත කරනවා. විශේෂයෙන් කැඩුම් බිඳුම්වලදී මෙම ශාකයේ විවිධ කොටස්‌ භාවිත කරනවා කෙසේ නමුත් මෙම ශාකය රැකගැනීමට යම් වැඩපිළිවෙළක්‌ යෙදීම කාලෝචිතය.

බළන්ගොඩ - එන්. එච්. පියසේන - දිවයින පුවත් පත

No comments:

Post a Comment

ස්තුතියි ...