වැටුනොත් එක්සිය සතිසක් නිරයේ



නිරය, නරකය බොදු ජන මනසෙහි තදින් කාවැදී ඇති කේන්ද්‍රීය සංකල්පයකි. එම ඉගැන්වීම එපමණටම ජන විඥානයට සමීප වන්නට හේතුකාරක වූ හේතූන් රාශියකි. අපි සිතන, පතන කියන දෑ ප්‍රතිඵල වශයෙන් සසර පුරාවටම ලැබෙන බව විශ්වාස කරන කර්ම සංකල්පය පිළිගන්නා වූ අනුගාමිකයෝ වෙමු. ඒ කර්ම සංකල්පයට අනුව දුශ්චරිතය ‍පෝෂණය කරන්නවුන්ට දුක්ඛිත විපාක ලැබෙන ස්ථාන ප්‍රධාන වශයෙන් හතරක් ලෙස දහමේ උගන්වයි. ඒවා අපාය භූමි නොහොත් කාමදුගති භූමි ලෙස හැඳින්වේ. 01. නරක 02. තිරිසන් 03. ප්‍රේත 04. අසුර යනු ඒවාය. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ නරකය හෙවත් නිරය භූමිය ගැනය.
නිරය යනු අපාය භූමියකි. අපාය භූමිවල ස්වභාව වන්නේ ඇස නොහොත් සැප පහවන්නා වූ ඇසිපිය හෙළන තරම්වත් කාලයක් සැපයක් නොවිඳින සත්ව කොට්ඨාසයන් සිටීමය. එසේ දුක්විඳින සත්ව කොට්ඨාසයන් ජීවත්වන භූමි එකසිය තිස්හයක් (136) ධර්මයෙහි ඉගැන්වේ. එයිනුදු ප්‍රධාන නිරය භූමි අටක් වේ. ඒවා නම්,

01. සංජීවය නරකය
02. කාලසූත්‍රය නරකය
03. සංඝාතය නරකය
04. රෞරවය නරකය
05. මහා රෞරවය නරකය
06. තාපය නරකය
07. මහා තාපය නරකය නොහොත් ප්‍රපාතය
08. අවීචිිය නරකය

Niraya
සංජීවය නරකය

මහ ‍පොළොවට යොදුන් පහළොස් දහසක් යටින් පිහිටා ඇති මෙම නිරයේ උපදින්නේ සත්ව ඝාතනය ආදී බරපතළ අකුසල් කර්ම කළවුන්ය. මෙම නිරයේදී යමපල්ලන් දිලිසෙන අවිආයුධවලින් නිරිසතුන් කෑලි කෑලිවලට සිඳින නමුත් නැවත නැවත අකුසලකර්ම බලයෙන් ජීවත්වන අතර ඔවුන් නිරය වර්ෂ ගණනින් අවුරුදු 500ක් එහි දුක්විපාක විඳී. මෙහි එක් දිනක් මනුෂ්‍ය ලෝකයේ වර්ෂවලින් ගණනය කරන්නේ නම් එය වර්ෂ නව ලක්ෂයකි. එවැනි නව ලක්ෂයේ අවුරුදු පන්සියයක් සංජීවය නරකයට වැටුණු නිරිසතුන්ට ගෙවීමට සිදුවේ.

මවුපියන්ට නොසැලකුවොත් කාලසුත්‍රය නරකය

මෙම නිරය සංජීවය නරකයට වඩා යොදුන් පන්සියයක් යටින් පිහිටා ඇත. නිරය පාලනය කරන යමපල්ලන් මෙහි වැටෙන නිරිසතුන් පසුපස ලුහුබැඳ වැටෙන වැටෙන සත්වයන් දැලි නූලෙන් නූල් ගසනු ලබයි. මෙහි අපාදුක් විඳින සත්වයන්ට සංජීවය නරකයට මෙන් වර්ෂ දහසක් ජීවත් වීමට සිදුවේ. මෙහි උපදින සත්ව කොට්ඨාසයන් බොහෝවිට මව්පිය ගුරුවරාදීන්ට නොසැලකූ මිථ්‍යා දෘෂ්ටිකයන් අයත් වේ.

සත්ව ඝාතකයන්ට සංඝාතය නරකය

ගිනියම් වූ ලෝහමය ‍පොළොවේ ඉන තෙක් ගිලී සිටින සතුන් දෙපසින් ලෝහමය පර්වත දෙකක් පැමිණ ඔවුන්ව තෙරපවාගෙන යෑම මෙම සංඝාත නිරයේ ස්වභාවයයි. ගවයන්, එළුවන්, කුකුළන් ආදී වූ සත්වයන් ඝාතනය කොට ජීවත්වූ සත්වයන් මරණින් මතු උපදින්නේ මෙම නරකයේය. ඔවුන්ගේ දුක් සහිත කාලය කාලසූත්‍රය නරකයේ ආයුෂවලට වඩා වැඩිය. එය වර්ෂ දෙදහසක් බව සඳහන් වේ.

නින්දා අපහාස කරන්නන්ට රෞරවය නරකය

මෙම නරකය සංඝාත නිරයටද වඩා යොදුන් පහළොස් දහසක් යටින් පිහිටා ඇත. රෞරවය නරකය දෙආකාර ලෙස දහමේ දැක්වේ. ජාල රෞරවය ඉන් එකකි. නිරි සතුන්ගේ නවදොරින් ගිනිදැල් ඇතුළු වී පිටවන, මහ හඬ පතුරුවන නිරිසතුන් සිටින්නේ මෙම ජාල රෞරව නිරයේය. දූම රෞරවය යනු අනෙක් නිරයයි. එහි උපදින සත්වයන්ගේ නව දොරින් දුම් ඇතුළුවී දහදිය දමමින් දුක්විපාක ලබා දේ. මෙහි නිරය වර්ෂ හාරදහස් නිරාදුක් විඳින්නට සිදුවේ. සත්වයන්ට හිංසාපීඩා කළ. නින්දා, අපහාස කළ පිරිස් මෙන්ම ඉන්ද්‍රජාල මායාකාර ආදී අනුන් රවටා ජීවත්වන්නාවූද සත්වයන් මෙහි වැඩිපුරම දුක්පීඩා විඳී.

අනුන්ගේ ඉඩම්  අල්ලන්නන්ට මහා රෞරවය නරකය

රක්ත වර්ණ රුධිරය වැනි ලෝදියෙන් පිරී ගිය නරකය මෙනමින් හැඳින්වේ. තෙරුවන් සතු වස්තුව, ඉඩකඩම් ආදිය පැහැර ගන්නාවූද ‍පොදු ස්ථාන විනාශ කරන්නාවූද සත්වයන් උපදින්නේ මෙම නිරයේය. ඔවුන්ගේ ආයුෂ අවුරුදු අටදහසකි.

දුෂ්චරිත කළ වුන්ට තාපය නරකය

ගිනි දැල්වලින් ඇවිළගත් ලෝහ හුලක නිරිසතුන් නිශ්චලව සිටුවා ගින්නෙන් රත්කරන නිරය තාපය නම් වේ. මෙහි උපදින්නේ සතුන් මැරීම ආදී දුශ්චරිත කළවුන්ට අකුසල් නොවේ යැයි යනාදී වශයෙන් මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ සත්වයන්ය. මෙහි ආයුෂ නිරය වර්ෂවලින් වසර දහසය දහසකි.

මිත්‍යා දෘෂ්ඨිකයන්ට මහා තාපය නරකය

මෙම නිරයේ ස්වභාවය වන්නේ නිරි සතුන් ලෝහමය පර්වතයකට නංවා යට ඇති හුල්වල ඇනී සිටින ලෙස පහතට පෙරළීමයි. මෙහිදී නිරිසතුන් අතිශයින් තැවීමට ලක්වේ. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් ප්‍රතික්ෂේප කරන මිථ්‍යාදෘෂ්ටික පිරිස් මෙම නිරයේ උපදිති. ඔවුන් දුක් විඳින ආයුෂ ප්‍රමාණය අන්තරා කල්පයකි. අන්තරා කල්පයක් යනු මනුෂ්‍ය ලෝකයේ පරමායුෂ අවුරුදු 10 සිට ක්‍රමයෙන් වැඩිවී අසංඛ්‍යයක් දක්වා නැග නැවත පරමායුෂ අවුරුදු 10 දක්වා බැසීමට ගතවන කාලපරිච්ජේදයයි. මෙම කාල වකවානුව නූතන ගණනය කිරීම්වලට පවා මැනගත හැකි කාලයක් නොවේ.

ප්‍රතිමා දාගැබ් වනසන්නන්ට ආවීචිය නරකය

මව්පියන්, රහතුන් මැරුවා වූද, බුදුන් වහන්සේගේ ශරීරයේ ‍ලේ සෙලවීම කළා වූද, සංඝ භේදය කළා වූද, ආරාම දාගැබ්, බෝමලු, ප්‍රතිමා විනාශ කළා වූද සත්වයන් උපදින්නේ මෙම නරකයේය. දේවදත්ත තෙරුන් මරණින් පසු උපත ලැබුවේද මෙම නරකයේය. මෙහි ආයුෂ එක් කල්පයකි. කල්පයක් යනු අන්තරාය කල්ප හතරක එකතුවකි.

මෙම ප්‍රධාන නිරයන් අටට පරිවාර නිරයන් දහසය බැගින් වේ. මෙම නිරයයන්හි සැකැස්ම පිළිබඳ දහමෙහි සඳහන් වන්නේ ඒවා ඝන ලෝහමය තහඩුවලින් වැසුණු සතරා කාර වූ කොටුවක් ලෙසය. සෑම නිරයක්ම ඉහළ ඝන ලෝහමය පියනකින් වැසී ඇත. එම සතරාකාර වූ කොටුවේ කොන් සතරෙහි සතර බැගින්වූ පරිවාර නිරයන් සතරකි. එලෙස දහසය බැගින්වූ පරිවාර නිරයන් එකසිය විසි අටක් වේ. එම පරිවාර නිරයන් එකසිය විසිඅටට ප්‍රධාන නිරයන් අටද එකතුවූ විට නිරයන් සියල්ල එකසිය තිස් හයකි. වීදාගම මාහිමියන් ලෝවැඩ සඟරාවේදී ‘වැටුනොත් එක්සිය සතිසක් නිරයේ’ යනුවෙන් දක්වන්නේ එයයි. නිරයන්හි දුක්විඳින සත්වයන්ගේ අපමණ දුක්අ¼ෙදා්නා මෙන්ම එම දුක් පිළිබඳ මනරම් විස්තරයක් ජාතක පාළියේ නිමි ජාතකයේ සඳහන් වේ. පෙර අප මහ බෝසතාණන් නිමි මහරජු වී උපත ලැබූ ආත්මභාවය මෙහි විස්තර කරයි. ශක්‍ර දෙවිදුන්ගේ නියමයෙන් මාතලී නම් දිව්‍ය රථචාර්්‍යයා සමග නිමි රජු දෙව්ලොව බලා පිටත් වේ. එම ගමනේදී දෙව්ලොව සැප විඳින සත්වයන් ගැන මෙන්ම නිරයන්හි අනන්ත දුක්පීඩාවන් විඳින නිරිසතුන් නිමි රජු සියැසින්ම දකී. ඒ එක් එක් නිරයන්හි දුක්විඳින සත්වයන් ගැන නිමි රජු මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් විමසනු ලබයි. මාතලී දිව්‍ය පුත්‍රයා ඊට දෙන පිළිතුරු දුක්පීඩා විඳින නිරිසතුන් ගැන මනරම් සිතුවම් මවාපාන්නකි. එම නිමි ජාතකයේ එන නිරයන් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

නිමි රජු මාතලී දිව්‍ය පුත්‍රයා සමග යන ගමනේදී තුන් ගව්වක් පමණ ශරීර ඇති නිරි සතුන් මහා ඇතුන් පමණ විශාල රතුපාට හා කබර වර්ණ ඇති බල්ලන් විසින් එළවාගෙන ගොස් කෙණ්ඩාමාංශය හපා ‍පොළොවේ ගසා ඇට පමණක් ඉතිරිකොට මස් ඉරා කන බියකරු දර්ශනය දුටුවේය. එපමණක් නොව ලෝහ තුඩු ඇති ගිජුලිහිණියෝ එම නිරි සතුන්ගේ ඇටවලට ඇණ බිඳ ඇටමිදුලු කති. මෙම දර්ශනයෙන් අතිශය බියට පත්වූ රජු ඊට හේතු විමසයි. එවිට මාතලී දිව්‍ය පුත්‍රයා කියනුයේ ලෝභකමින් අනුන්ට කිසිවක් නොදී අනුන් දෙන දේද වළක්වාලන භික්ෂුන්ට නින්දා අපහාස සිදුකරන සත්වයන්ගේ ශරීර මෙලෙස දුක්විඳින බවයි. මාතලී දිව්‍ය පුත්‍රයා වෙනත් නිරයක් කරා රථය පැදවීය. එහි ගිනි දැල්වලින් වටවූ මහත්වූ ලෝහ සැළියක් දක්නට ලැබේ. එහි ලෝදිය පිරී පවතී. මෙම නිරයේ උපන් සත්වයන් යමපල්ලන්ගේ ග්‍රහණයට හසුවී ඔවුන්ගේ පා උඩට සිටින සේද හිස පහළට වැටෙන සේද කොට ලෝදිය සැළියට දමනු ලැබේ. නිරි සතුන්ගේ හිස් එහි පෙණ දමමින් පුපුරා පැසේ. එය දුටු නිමි රජු අතිශය බියට පත්වී මොවුන් කුමන පව්කොට මෙලෙස උපත ලැබුවේ දැයි විමසනු ලබයි. මාතලී දිව්‍ය පුත්‍රයා කියනුයේ සිල්වත් වූ යහපත් වූ ආචාරශීලී භික්ෂුන් වහන්සේලාට හිංසාපීඩා කළ සත්වයන් මෙසේ ලෝදිය මත පැසෙමින් දුක්විඳින බවය.

මේ නිමි ජාතකය නිරයයන්හි පැසි පැසී අනෙක්විධ දුක් පීඩාවන්ට හසුවූ සත්ව කොට්ඨාසයන් ගැන දීර්ඝ විස්තරයක් සිදුකරනු ලබයි. එහි එන පව්කම් විමසන විට පෙනී යන්නේ වත්මන් සමාජයේද ඊට නොදවෛනි පාපකර්ම සිදුකරන බවයි. ලෝකය විවිධාකාරය. එසේම විෂමාකාරය. පියවි ඇසට පෙනෙන දෑට වඩා නොපෙනෙන දෑ බොහෝය. බුදුන් දවස ජීවත් වූ පාපකර්ම සිදුකළ බොහෝ සත්වයෝ මේ මොහොතෙයිද මේ කුමන හෝ නිරයක අපාදුක් විඳිති. එහි කිසිදු සැකයක් නොමැත. මේ මොහොතෙහිද එකී නිරයන්වලට වැටී දුක්විඳින පිරිස් අපමණය. මතුවටද එය දෙගුණ තෙගුණවනු මිස අඩුවක් නම් නොවනු ඇත. එබැවින් ඔබ නුවණින් විමසා මේ ගතවන හැම මොහොතකම සිතින්, කයින්, වදනින් යහපතක්ම කොට අතිශය බියකරු වූ නිරයන්හි නූපදින්නටම වගබලාගනු මැනවි.

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි

No comments:

Post a Comment

ස්තුතියි ...