විශ්වයේ කළු කුහර හා සුදු කුහර

කළු කුහර සුදු කුහර වේ යයි මතයක්
විශ්වයේ ඇති කළු කුහර වල ආයු කාලය අවසානයේදී ඒවා සම්පූර්ණයෙන් ප‍්‍රතිවිරුද්ධ සුදු කුහර බවට පත්වන බවට භෞතික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් නව මතයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ප‍්‍රංශයේ එයික්ස් මාර්සේල් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ කාලෝ රොවෙලි සහ හල් හැගාර්ඞ් පවසා ඇත්තේ අධික ගුරුත්වයකින් හෙබි කළු කුහරයක් තුළට ආලෝකය ඇතුළු සියලූ පදාර්ථ උරා ගැනීමෙන් පසුව සුදු කුහරයන් විසින් ඒ සියල්ල යළි මුදා හැරෙනු ඇති බවයි.

කළු කුහරයක් සුදු කුහරයක් බවට පත්වීම කළු කුහරයක් බිහිවූ විගසම ඇරඹෙන නමුදු ගුරුත්වය විසින් කාලය දිග්ගස්වන නිසා පිටත සිටින නිරීක්ෂකයකුට ඒ සඳහා වසර බිලියන හෝ ටි‍්‍රලියන ගණනක් ගතවන බව දැකිය හැකිවනු ඇතැයි ඔවුන්ගේ මතයේ දැක්වේ.

එම කාලය කළු කුහරයේ ප‍්‍රමාණය මත රඳා පවතින බව රොවෙලි සහ හැගාර්ඞ් දෙපළගේ අදහසයි.
මහා පිපුරුම සිදුවූ සමයේ බිහිවූ කුඩා කළු කුහරයන් මේ වන විට සුදු කුහරයන් බවට පත්වෙමින් තිබිය හැකි බව උපකල්පනය කර ඇති ඔවුන් ඒවා අධි බල කොස්මික් විකිරණ හෝ වෙනත් විකිරණයන් ලෙස නිරීක්ෂණය කළ හැකි බව පවසා ඇත.

උදාහරණයක් ලෙස සුපර්නෝවා පිපුරුම් ලෙස සැලකෙන විකිරණයන් මෙවැනි සුදු කුහරයන් වලින් විමෝචනය කෙරෙන විකිරණයන් විය හැකි බව පැවසේ.

කළු කුහරයක විනාශය පිළිබඳව මින් පෙර ඉදිරිපත් ව තිබූ වාදයේ ඇති විරුද්ධාභාසයන් නව මතය මගින් විසඳාලිය හැකි වුවත් විද්‍යාඥයන් රැසක් රොවෙලි සහ හැගාර්ඞ්ගේ මතය පිළිබඳ ප‍්‍රශ්න මතු කර ඇතැයිද වාර්තා වේ.

~Lankacnews

No comments:

Post a Comment

ස්තුතියි ...