ෂර්ලොක් හෝම්ස්




1986 මාර්තු මාසයේ මුලින්ම ෂර්ලොක් හෝම්ස් චරිතය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් A Study in Scarlet (ලෝහිත පරීක්ෂණය) ලෙස නම්කෙරුණු කතාවට රහස් පරීක්ෂකයෙකු ලෙස ඉදිරිපත්කලා. නමුත් මේ කතාව ප්‍රසිද්ධ කිරීමයත් කොනන් ඩොයිල්ට විශාල පරිශ්‍රමයක් දරන්නට වුනා. කෙසේ හෝ 1890 දී ආරම්භ වුන “The Strand” සඟරාවේ කතෲ තම සඟරාවට ෂර්ලොක් හෝම්ස් කතා ලිවීමට කොනන් ඩොයිල්ට ආරාධනා කලා. මෙයින් අතිශය ප්‍රසිද්ධියට පත්වුන ෂර්ලොක් හෝම්ස් චරිතය නිසා කොනන් ඩොයිල්ට තම වෘත්තියද අතහැරදාන්න වුනා. මෙසේ ආතර් කොනන් ඩොයිල් විසින් 

රචනාකල ෂර්ලොක් හෝම්ස් කතා ගණන 60කි. මෙයින් කතා හතරක් දීර්ඝ කතා වේ.

* A Study in Scarlet (1987)
* The Sign of Four (1890)
* The Hound of the Baskervilles (1901- 1902)
* The Vally of Fear (1914-1915)

මීට අමතරව කෙටි කතා 56කි. එම කෙටි කතා 56 කොටස් 6ක් යටතේ වර්ගකර ඇත.

* The Adventures of Sherlock Holmes (1891-1892)
* The Memories of Sherlock Holmes (1892 -1893)
* The Return of Sherlock Holmes (1903- 1904)
* His last Bow (1917)
* Reminiscences of Sherlock Holmes (1908-1913)
* The Case-Book of Sherlock Holmes (1921-1927)

ෂර්ලොක් හෝම්ස්ගේ වාර්තාකරු දොස්තර වොට්සන් ය. දොස්තර වොට්සන් ඉන්දියාවේ සේවය කර ලන්ඩනයට පැමිණිවිට ෂර්ලොක්ව හමුවේ. ෂර්ලොක් හෝම්ස්ට එක් සහෝදරයෙක් සිටී. ඔහු මයික්‍රොසොෆ්ට් හෝම්ස් ය. මයික්‍රොසොෆ්ට් හෝම්ස් ෂර්ලොක් හෝම්ස් වගේම නිරීක්ෂණ මගින් නිගමනයට එළඹීමට දක්ෂ වුනත් තරමක් මිනිසුන් අතරට යොමු නොවන පුද්ගලයෙකි. ෂර්ලොක් හෝම්ස්ගේ ප්‍රධාන හතුරා මහාචාර්ය මොරියාටි ය. මහාචාර්ය මොරියාටි ෂර්ලොක් සමඟ ඇතිකරගන්නා ගැටළුවලින් බොහෝවිට කිසිවෙකුට ජය නොලැබේ. ෂර්ලොක් හෝම්ස්ට මහාචාර්ය මොරියාටි හමුවන්නේ දෙවතාවක් පමණයි. (මගෙ මතකයේ විදිහට) ඒ එක්තරා අවස්ථාවක් මොරියාටිගේ අවසානය ලියවෙන මොහොතක් වෙයි. රහස් පරීක්ෂණ ක්ෂේත්‍රයෙන් සමුගන්නා ෂර්ලොක් හෝම්ස් සසෙක්ස් ප්‍රාන්තයට වී මීමැස්සන් ඇතිකරයි. මෙහිදී හෝම්ස් තමා විසින්ම කතා දෙකක් ඉදිරිපත් කරයි. කෙසේවුවත් එම ෂර්ලොක් හෝම්ස් යොදාගෙන අදටත් නව 

නිර්මාණ බිහිවෙමින් පවතී!

ලොව්තුරු බුදුවරු



අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු විසිපස්නම පිළිබඳ තොරතුරු මේ අනුව සකස් කර ඇත. මේ ලිපිය ඒ පිළිබඳ පුර්විකාවකි. 

තුන්ලොව ට ම අතිශ්‍රේෂ්ඨ, අතිදුර්ලබ, උත්තරීතර පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය. බුදුවරයකු ගේ ශ්‍රේෂ්ඨත්වය නිවැරදි ව දේශනා කළ හැක්කේ තව ත් බුදුවරයකු ට ම පමණකි. බුදුගුණ අනන්ත ය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසි ම දෙයක් දේශනා නො කර බුදුගුණ පමණක් දේශනා කළ ත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නො වේ. එ මෙන් ම බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර කාල පරතරය අවුරුදුවලින් මෙ පමණකැ යි දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ ය. සමහර කල්පවල බුදුවරු පහළ වන්නේ සිව් නමකි. එය “ සාරමණ්ඩ කල්පය" නමින් හඳුන්වනු ලැබේ. “වර” නමින් හඳුන්වන කල්පයෙහි බුදුවරු තුන් නමක් පහළ වෙති. “මණ්ඩ “කල්පයෙහි පහළ වන්නේ බුදුවරු දෙනමකි. එක බුදුකෙනෙක් පහළ වන කල්පය “සාර” නමින් හඳුන්වනු ලැබේ. තව ද, බොහෝ කල්පයන් බුදුවරු පහල නො වන "ශුන්‍ය කල්ප" බව ත්, බුදුවරු උපරිම ව පහල වන මහභාද්‍රකල්පයේ වුව ද, චතුරාර්ය සත්‍ය කතා කෙරෙන කාලය ඉතා අල්ප බව ත් දැක් වේ. මේ කරුණු කිහිපය සැලකිල්ල ට ගත කල ලොව උතුම් ම සේ ම දුර්ලබ ම පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය.

සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. නියත විවරණය ලබාගැනීම ට පෙර සෑම බෝසත්වරයෙක් ම මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතු ය. මනෝ ප්‍රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේ වා යි සිතින් සිතීම යි. මේ මනෝ ප්‍රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙ සේ මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟ ට වාග් ප්‍රණිධානය පුරන්න ට පටන් ගනියි. වාග් ප්‍රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේ වා! යැ යි වචනයෙන් ම ප්‍රකාශ කිරීම යි. මෙ සේ වාග් ප්‍රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු ය. 

එක් කලෙක දී බ්‍රහ්ම ලෝකය හිස් ව යන්නට විය. සිටින බ්‍රහ්මයන් ගේ ආයුෂ ගෙවී බඹ ලොවින් චුතවෙයි. නැවත බඹ ලොව උපදින බ්‍රහ්මයෙක් ද නැත. එක්තරා බ්‍රහ්මයෙක් මෙය ට හේතුව කුමක් දැ යි විමසා බලන විට බුද්ධ ශූන්‍ය කල්ප බොහෝ ගණනක් ගත වී ඇති බව පෙනුණි. බුදු බව පතන බෝසත්වරයෙක් නැති දැ යි බැලී ය. අනන්ත අප්‍රමාණ සිටින බව ත් උන්වහන්සේලා තව ම පෙරුම් දම් සපුරන බව ත් දුටුවේ ය. එ සේ නමුත් තමා ත් කිසියම් පුද්ගලයෙක් බුදු බව පැතීමට යොමු කළ යුතු යැයි කල්පනා කළ බ්‍රහ්මයා ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවී ය.

එ විට ගමන් කළ නැව කැඩී මුහුදු බත් ව මවත් කරපින්නාගෙන සත් දිනක් පිහිනන ගුණවත් වීර්යවන්ත පුරුෂයා දුටුවේ ය. මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයකු ට යි බුදු බව ප්‍රාර්ථනා කරවිය යුත්තේ යැ යි සිතූ බ්‍රහ්මයා ඔවුන් ගොඩ බිම ට සේන්දු කොට මව ට ආරූඪ වී “ පුතේ නුඹ මතු දිනක බුදුවෙයන්” යි කියවීය . අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බව පැතීමේ ආරම්භය එය යි.

එ දින සිට මනෝප්‍රණිධානය සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කොට පුරාණ ගෞතම බුදුරදුන්ගෙන් අනියත විවරණය ලැබ වාග් ප්‍රණිධානය පිරීම ඇරඹී ය. අනියත විවරණය යනු බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැ යි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.
මෙ සේ මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීම ට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතු ය.

මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති
අධිකාරෝ ච ඡන්දතා
අට්ඨ ධම්ම සමෝධානා
අභිනීහාරෝ සමිජ්ඣති

යනුවෙන් දක්වා ඇත්තේ එ ම කරුණූ අටයි. මනුෂ්‍යත්වය යනු මිනිසකු වී සිටීම යි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවල ට මේ අවශ්‍යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක් ව සිටියදී ය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක් ව සිටිය දී ය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දී ය.

ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීම යි. හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීම යි. ප්‍රථම නියත විවරණය චෛත්‍යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්‍රාවකයකුගෙන් ද ලබාගත නො හැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතු ය. පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතු ය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්‍යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්‍යාගය යි. එ දා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්‍රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්‍යාගයෙනි. ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්ත ය. බුදුවීම සඳහා ඕනෑ ම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ. 

ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාදමූලයේ දී මෙ කී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්‍රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය.
පෙරුම් පිරීමේ අනුහස් නියත විවරණ ලත් බෝසත්හු, සසර සරන කල් හි, අවීචියෙ හි නො උපදිත්. ලෝකාන්තරික නිරයෙ හි නො උපදිත්. ප්‍රේත ව නො උපදිත්. පරෝපකාර පිණිස සිය කැමත්තෙන් ද තිරිසන් ව උපදිත හැකි වෙතත් ඇතකු ට වඩා ලොකු හෝ වටුවකු ට වඩා කුඩා සතෙක් ව නො උපදී. මිනිස් ව උපදනා කල ස්ත්‍රී ව, පණ්ඩක ව, නපුංසක ව උභතෝඛ්‍යංජනක ව, නො උපදිත්. අනාන්තරිය පව් නො කරත්, නියත මිසදිටු නො ගනිත්, අසංඥතලයෙ හි හෝ ශුද්ධාවාසයෙ හි නො උපදිත්. අන්තිම අත්බව් හි තුසිත දෙව් ලොවින් චුත ව මව් කුස පිළිසිඳ ගනු ලබයි. සිහි නුවණින් යුතු ව ම පිලිසිඳ ගනිත්. සිහිනුවණින් යෙදී ම මව් කුස වසත්. බිහි වනුවෝ ද සිහි නුවණින් යෙදී ම බිහි වෙත්. මේ ආදී අනුසස් රැසෙක් වෙති. ඒ හැම , පාරමී ධර්ම පිරීමෙන් ඇති වන අනුසස් ය. සමතිස් පාරමිතා පිරීමේ අග්‍රඵලය නම් උතුම් ලොව්තුරු බුදුබව යි.

පෙරුම් පුරන කාලය 

රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්ෂයක් ද, පසේ බුදු බව සඳහා අසංඛ්‍ය දෙකකුත් මහා කල්ප ලක්ෂයක් ද, පෙරුම් පිරිය යුතු. ය ලොව්තුරා බුදු බව ලබන්න ට ප්‍රඥාධික බෝධිසත්ත්වයන් විසින් සතර අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු ය. ශ්‍රද්ධාධික බෝසතුන් විසින් අට අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද වීර්යාධිකයන් විසින් සොළොස් අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද පෙරුම් පිරිය යුතු ය.
මෙතෙක් පහල වූ බුදුවරු.

සම්මා සම්බුදුරාජණන් වහන්සේ හැර ලෝකයෙහි පහළ වූ කිසි ම ශාස්තෘවරයෙක් තමන් ගේ තත්ත්වය ට ශ්‍රාවකයන් ට ත් පත්විය හැකි යැ යි දේශනා කොට නැත. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන ඕනෑ ම කෙනකු ට බුද්ධත්වය ලබාගත හැකි බව දේශනා කළ සේක. එහෙත් බුද්ධත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා කාලාන්තරයක් නො පසුබට උත්සාහයෙන්, ධෛර්යයෙන් පාරමිතා උපපාරමිතා , පරමත්ථ පාරමිතා වශයෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කළ යුතු ය. එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වය පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව (අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ. මේ සඳහා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බෝධිසත්ව කාලසීමාවන් අධ්‍යනය වැදගත් ය යි සිතේ. බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් (512,027)බව දේශනා කර ඇත. මනෝ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද, වාක්‍ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු තුන්ලක්ෂ අසූහත්දහසකුත් (387,000) කය වාක්‍ ප්‍රනිදානය තුළ දී හමු වූ සම්මා සම්බුදුවරු ගණන ව්සිහතකුත් (27) වශයෙනි. 

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ට පත්වන්න ට පෙර පාරමිතා පිරු කාලය තුළ පමණක් බුදුවරු මෙ පමණ සංඛ්‍යාවක් පහල වී ඇතිනම් මෙ ලොව පහල වූ අතීත බුදුවරු ගණන මෙ පමණකැ යි කියා කිසිසේත් කිව නො හැකි ය. අසංඛ්‍ය ගණනක් බුදුවරු පහල වී ඇති බව බුද්ධවංශයන් හි දැක් වේ. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික, වීර්යාධික බුදුවරු. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික ආදි බුදුවරුන් ලබන බුද්ධත්වයෙහි හා දේශනා කරන ධර්මයෙ හි කිසිදු වෙනසක් නැත. සමස්තයක් වශයෙන් ගතහොත් සෑම බුදුවරයෙක් ම දේශනා කරනුයේ අකුරු අටෙකි. වචන තුනෙකි. එ නම් අනිච්ච දුක්ඛ අනත්ත යන මේ අකුරු අට හා පද තුන යි. ශාරීරික වශයෙන් උස මහතින් වෙනස් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුවඤ්ජන එක සේ ම පවතී. ඓශ්චර්යයෙන් හා පුණ්‍ය මහිමයෙන් ද ප්‍රඥාධික බුදුරදුන් ට වඩා ශ්‍රද්ධාධික බුදුරදුන් වැඩිය. ශ්‍රද්ධාධික බුදුරදුන් ට වඩා විර්යාධික බුදුරදුන් වැඩි ය. හේතුව පෙරුම් දම් පුරණ කාලය දීර්ඝ බැවිනි.

දීර්ඝායුෂ සහිත බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු වැඩි කාලයක් නො පවතී. උන්වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂය පමණක් දේශනා කරන හෙයිනි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂයත්, ආණා ප්‍රාතිමෝක්ෂයත් දේශනා කරන හෙයින් දීර්ඝ කාලයක් පවතී.

බුදුවරු කරුණු අටකින් අසමාන වෙති

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්‍රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති. 

බුදුවරු කරුණු සතරකින් සමාන වෙති

බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදායේ සිදු වේ. දෙවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද, ගන්ධකුටිය ජේතවනයෙ හි ද, වේ. මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති.

බුදුවරුන් ට සාධාරණ ධර්මතා සමතිසකි

01. පශ්චිමභවික බෝධිසත්වයන් සිහිනුවණින් යුතු ව මවුකුසින් බිහි වීම.
02. මවුකුස පලක් බැඳ බලාසිටීම.
03. බෝසත් මවු සිටිපියෙ හි සිට බෝසතුන් බිහි කිරීම.
04. අරණෙ හි දී මවුකුසින් බිහි වීම.
05. උපන් කෙනෙහි උතුරු දිග ට සත් පියවරක් ගොස් සීහනාද කිරීම.
06. සතරපෙරනිමිති දැක පුත් කුමරු උපන් දා මහාභිනිෂ්ක්‍රමණය කිරීම.
07. පැවිදි ව සත්දිනක් හෝ ප්‍රධන් වීර්යය කිරීම.
08. බුදුවන දවස කිරිපිඬු වැළඳීම.
09. තණ ඇතිරියෙ හි වැඩසිට සර්වඥතාඥානය ලැබීම.
10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන් වැඩීම.
11. මාර පරාජය සිදු කිරීම.
12. බෝධිපර්යංකයෙ හි ම ත්‍රිවිද්‍යාව ලැබීම.
13. සත්සතිය ගතකිරීම.
14. මහාබ්‍රහ්මයා ගේ අයැදීමෙන් දහම් දෙසීම.
15. ඉසිපතන මිගදායෙ හි ම දම්සක් පැවැත්වීම.
16. ප්‍රථම ප්‍රාතිමෝක්ෂ දේශනාව නවම් පුරපසළොස්වක් පොහෝ දිනයේ දී පැවැත්වීම.
17. දෙව්රම් වෙහෙර තැන් හි ම නිබද්ධවාසය.
18. සැවැත්පුරදොර යමාමහ පෙළහර දැක්වීම.
19. තව්තිසාවේ අභිධර්ම දේශනාව.
20. සංකස්සපුර ද්වාරයෙන් දෙව්ලොවින් බැසීම.
21. නිරතුරු ඵලසමාපත්තිය ට සමවැදීම.
22. ධ්‍යාන දෙක් හි වෛනෙයජනයා බැලීම.
23. කරුණක් නැඟීකල් හි ම ශික්ෂා පැනවිම.
24. අර්ථොත්පත්ති නිමිති කොට ජාතක දේශනාව.
25. ඥාතිසමාගමයෙ හි බුද්ධ වංශ දේශනාව.
26. ආගන්තුක භික්ෂුන් සමග පිළිසඳර කිරීම.
27. ආරාධනයෙන් වස් එළඹ දායකයන් ට නො දන්වා නො යාම.
28. දිනපතා පංචබුද්ධකෘත්‍යය නො කඩ කොට සිදු කිරීම.
29. පරිනිර්වාණය ට පෙර සූකර මද්දවය වැළඳීම.
30. සූවිසි කෙළසුවහස් සමවත් සමවැදී පිරිනිවීම.

මෙ ම ලිපි පෙළ බුද්ධ වංශ පාළිය මූලික කරගනිමින් සම්පාදනය වන බව පෙර ද, සඳහන් කරන්නට යෙදුනි. මෙ ම බුදුවරු විසිපස්නම ට පෙර පහල වූ තව ත් බුදුවරු තුන්නමක් පිළිබඳ සඳහන් වේ. බුද්ධ වංශයෙන් පැහැදිලි වන්නේ දීපංකර බුදුරදුන් ගේ සිට ය. නමුත් ඒ හැර දීපංකර බුදුන් ගේ සාර මණ්ඩ කල්පයේ පෙර පහල වූ බුදුවරු පිළිබඳ එ හි සඳහනක් නැත. තණ්හංකර, මහාවීර, මේධංකර යන බුදුවරු එ ම කල්පයේ පෙර පහල විය. ඒ පිළිබඳ විස්තරයක් පූජාවලියේ දෙවන පරිච්චේදයේ දක්නට ඇත.

තණ්හංකර බුදුරජාණන් වහන්සේ "සුනන්ද" පිය රජු හා "මනෝනඤ" මව් දේවිය මවු පදවිය ලබා උපන් අතර තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට "රුක්අත්තන" ගසක මුල බුදුබව ට පත්විය.

මේධංකර බුදුරජාණන් වහන්සේ "සුදේව" රජු හා "යසෝධරා" දේවියට මවුපියන් වු අතර මේධංකර බුදුන් සති දෙකක් දුෂ්කර ක්‍රියා කොට "කෑල" නැමති බෝධි මුලයේ දී බුදුබව ට පත් විය.

සරණංකර බුදුරජාණන් වහන්සේ "සුමංගල" රජු හා "යසවතී" දේවිය ට මවුපියන් වු අතර සරණංකර බුදුරජාණන් වහන්සේ "පුලිලබෝධි" මුලයේ දී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදුබව ට පත්විය.

බුද්ධ වංශ පිළිබඳ හොඳින් විමසා බැලූවිට පෙනෙන කරුණක් වන්නේ බුදුවරු පහල වන කල්ප ප්‍රමාණය ට වඩා බුදුවරු පහල නො වන කල්ප ප්‍රමාණය ඉතා විශාල බව යි. තව ත් කරුණක් වන්නේ බුදුවරු දෙනමක් අතර කාලසීමාව මෙතෙකැ යි ගණනින් දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ කාලයක් වීම යි. අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එ සේ ම උතුම් මනුෂ්‍ය ආත්මයක් ද ලැබී ඇත. ක්ෂණ සම්පත්තිය නිසි ආකාරයෙන් පිහිටා ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතු ය. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා වැඩීම පිණිස අධිෂ්ඨාන කරගනිමු.

~මුහුනුපොතෙන් උපුටාගන්නා ලදී

ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ



භාරත දේශයේ හිමාලය කඳුවැටිය අසල පිහිටි සුප්‍රසිද්ධ ශාක්‍ය ජනපදයේ රජකළ සුද්ධෝදන රජුට දාව මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳගත් බෝධිසත්වයන් වහන්සේ, ‘ද්වත්තිංස මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසීත්‍යනු ව්‍යඥජනයන්ගෙන්’ යුක්ත වූහ.

ක්‍රි. පූර්ව 6වන සියවස වනවිට භාරතීය ජනතාව බුදුවරයෙකු දැක ගැනීමේ ආශාවෙන් සිටි බව මහා පරිනිර්වාණ සූත්‍රයෙන් පැහැදිලිවේ. පොක්ඛරසාති නැමැති බ්‍රහ්මණයා බුදුරදුන් ගැන අසා උන්වහන්සේ‍ පිළිබඳ පරීක්ෂා කර බැලීම සඳහා අම්බට්ඨ නැමැති මානවකයා යැවූ බවත්, එසේම කොසොල් රජු, බුදුරදුන් හමු වූ පළමු දිනයේදීම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ඔබ සම්බෝධිය අවබෝධ කළෙහිදැයි ඇසූ බවත් සංයුක්ත නිකායෙහි සඳහන් වේ.

“තීර්ථංකර” – “ජීන” – “අරහත්” යන පද තුළ මහා පුරුෂයෙකුට අයත් භාවමය ගුණාංග ඇතුළත්ව ඇතිබව ජෛන ආගමික ඉගැන්වීම්වලින් පැහැදිලිවේ. බුද්ධවංශය නැමැති පැරැණි ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ, බුදුරදුන් පහළවීමටත් පෙර දේවතාවෙක් පැමිණ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වූ සම්බුදු රජාණන්වහන්සේ කෙනෙකුන් භාරත දේශයෙහි පහළවන බව ජනතාව වෙත දැනුම්දුන් බවයි.

ලලිත විස්තරය හා සද්ධර්ම පූණ්ඩරීකය වැනි මහායාන ඉගැන්වීම්වල, මහාපුරුෂයන් ලෙස මෙලොව උපදින උතුමන්ගෙන් මව සහ පියා ද මහාපුරුෂ ලක්ෂණවලින් යුක්තවන බව සඳහන්ව ඇත. එසේම කෙනෙකු තුළ එම ලක්ෂණ භවයෙහි ආත්ම ගණනාවක් තිස්සේ කරන ලද අභ්‍යාසයන් නිසා ඇතිවන බව ඔව්හු කියති.

ඒ අතර දීඝ නිකායේ ඵාඨික වග්ගයේ ලක්ඛණ සුත්‍රයට අනුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මෙසේ දක්නට ලැබේ.
මනාව පිහිටි පාද, සම පාදයන්ගේ සක් ලකුණු, දික්වූ විළුඹ, දික් වූ ඇඟිලි, මෘදු වූ අතුල් හා පතුල්, දැල් කවුළුවක් බඳු අත් පා, මත්තෙහි ගොප් ඇට පිහිටි පා, ඕලු මුවන්ගේ වැනි කෙණ්ඩා, නොනැමී දෙඅත්ලෙන් දණහිස් පිරිමැදිය හැකිවීම, කොපුවෙහි ගිලුණු ළිඟුව, රන්වන් පැහැය, සියුම් වූ සිවිය, දූවිලි නොරඳන ශරීරය, එක් එක් ලොම් වෙයි, එක් එක් ලෝම කැපයෝ වෙයි, අත්වල උඩුකුරු වූ අත් ලොම් වෙයි, සෘජු වූ ශරීරය, කෙසෙහි සත් තැනෙක පිපුණේ වෙයි, සිංහ රාජයෙකු සේ පිරුණු කය, පිරුණු පිට, බඹයක් පමණ වූ ශරීරය, සම වූ ගෙලවට, රස නහර තුඩුදුන් ගෙල, සිංහ රාජයෙකුගේ වැනි හනු, දත් හතිලිහ, එමදත් අතර විවර නැතිවීම, ඉතා සුදු වූ දත්, සමාන දත්, පුළුල් දිව, බඹහුගේ මෙන් හැඩ, වසු පැටවෙකුගේ වැනිනෙත්, දෙබැම අතර ඌර්ණ රෝමය.

එකල භාරතයෙහි සුප්‍රසිද්ධව සිටි වස්සකාර නැමැති බ්‍රාහ්මණයා ඉහත දක්වන ලද ලකුණු නිරීක්ෂණය කොටබලා ගෞතම බුදුරදුන් මහා පුරුෂයෙකු ලෙස පිළිගත්තේය. බ්‍රාහ්මණයෙකු විසින් අනිවාර්යයෙන් ඉගෙනගත යුතු වූ විෂය කරුණු අතරට මහාපුරුෂ ලක්ෂණද ඇතුළත්ව තිබිණි.

කෙසේ වෙතත්, මහා යාන බුදුසමය බුදරදුන්ගේ ශරීරයෙහි ප්‍රකටව පැවැති මහා පුරුෂ ලක්ෂණ වැඩි දියුණු කොට ඉදිරිපත් ඇති අයුරු දක්නට ලැබේ. ඒ අතර, බෞද්ධ කලා කෘති නිර්මාණයෙහිදී එම කලාකරුවන් විසින් ද තවත් විශේෂ ලක්ෂණ ඉස්මතු කොට දක්වා ඇත.

විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ දසබලධාරීත්වය පෙන්වීම සඳහා සවණක්රැස් - සිරස්පත - කේතුමාලා - පුළුල් වු නළල්තලය - දිගු කන් - වටකුරු වූ නිකට - නොවක් වූ නාසය - තුන් ඉරි ගෙළ - නළල මත ඌර්ණ රෝම ධාතුව - දේදුණු ඇහිබැම - උරමඬලේ පුළුල් බව - සිහින් ඉඟ - නෙලුම්පෙති හැඩයෙන් යුත් නිය හා ඇඟිලිතුඩු මන්දස්මතිය - අඩවන් දෙනෙත ආදී ලක්ෂණ ද ඒ අතර වෙති. මීට සමානරූපී තවත් සුවිශේෂීතාවන්ගෙන් යුත් දුටුවන් වශිකෘතවන අයස්කාන්ත දේහධාරී පුද්ගල ස්වරූපයක් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය තුළින් ප්‍රකට වූ බැව් පෙනේ.

සාලිය අමරසිංහ හඳගම
(Dinamina)

SatiPattana Sutraya | සතිපට්ඨාන සූත්‍රය


“සති” යනු සිහියට නමකි. පට්ඨාන යන්නෙන් පිහිටීම පිහිටුවීම ගම්‍යවේ. නිවන් මගෙහි නිවැරැදි සිහිය හඳුන්වා දෙනු ලබන සූත්‍ර දේශනාව සතිපට්ඨාන සූත්‍රයයි. මජ්ක්‍ධිම නිකායට අයත් මෙම දේශනාව සතර සතිපට්ඨාන ය. එනම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මැනවින් විස්තර කරනු ලබන අවස්ථාවකි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මතාවයන් ගේ පළමු කරුණු හතර වනුයේද මෙම සතර සතිපට්ඨානයයි. මෙම දේශනාව ආරම්භයේදීම මෙහි ඇති වැදගත්කම පිළිබඳ බුදුරදුන් තම ශ්‍රී මුඛයෙන් මෙසේ වදාළහ. “ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තා නං විසුද්ධියා...” “සත්වයන්ගේ පිරිසුදු බව පිණිස දුක් දොම්නස් දුරුවීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස ඒකායන මාර්ගයක් වේ එය සතර සතිපට්ඨානයයි”

ඉහත අරුතින් ගත්කළ සතර සතිපට්ඨානය නිවන සඳහා කෙරෙන අනුබලය කෙතරම්ද යන්න අවබෝධ කරගැනීම පහසුය. රූපය නිත්‍ය සුබ නොවෙනස් දෙයක් ලෙස නොසලකා ආශ්වාස ප්‍රශ්වාසාදී ලෙස අනිත්‍යාකාරයෙන් බැලීම ඒ සඳහා ඇතිවන ප්‍රඥාව කායානුපස්සනා සතිපට්ඨානයයි. විටින්විට ඇතිවන්නා වූ වේදනා නිත්‍ය සුඛ නොවෙනස් දෙයක් ලෙස නොදැක එය අනිත්‍යාදී වශයෙන් ග්‍රහණය කරගැනීම වේදනානුපස්සනා සතිපට්ඨානය වේ. පහළවන සිතිවිලි ආත්මය ලෙස වරදවා තේරුම් නොගෙන වෙනස් වන අරමුණු ලෙස දැකීම චිත්තානු පස්සනාවයි. පංච නීවරණ ධර්ම ආත්ම වශයෙන් නොගෙන කැඩෙන බිඳෙන වෙනස්වන සුළු ස්වභාවයෙන් ප්‍රඥාව මූලිකකොට දැකීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි.

කායානුපස්සනා සතිපට්ඨානය
හුස්ම ගැනීම පහත හෙළීම, දීර්ඝ හුස්ම කෙටි හුස්ම යමෙකු සිහියෙන් දනීද ඒ මත හික්මීම ඇති කර ගනී. “කය ආත්මකොට නොසලකයි. හුස්ම පිළිබඳ සිහිය පිහිටුවා ඒ මත කය සන්හිඳුවයිද? කය පිළිබඳ යථාවත් අවබෝධය ලබයිද? අනෙකා පිළිබඳවද එම ඥානය ලබාගනී. ඒ තුළ රූපාදී කිසිවක් ආත්ම වශයෙන් බලන තෘෂ්ණා දැකීම සන්සිඳේ. එය කායානුපස්සනා සතිපට්ඨානයයි. කයෙහි චලනය ක්‍රියාකාරිත්වය දැනගැනීම එය අනෙකාටද පොදු වූවක් බව හඳුනාගැනීම මෙන්ම හටගැනීම , විනාශය දැනගැනීම නුවණින් සිදුවෙයි. ඒ තුළ මමය, මගේය ලෙස නොගනී. කෙස්, දත්, නිය ආදී සියලු දෑ එලෙස දකීද එහි ක්‍රියාකාරිත්වය යථාර්ථවත් හඳුනාගනීද ශරීර කෘත්‍යයේ සිට කෑම්.බීම් ඉදුම් හිටුම්, නිදාගැනීම පිබිදීම දැන ගනීද එය කායානුපස්සනාවයි.
කායානුපස්සනාව පැහැදිළි කිරීම සඳහා සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත. එනම් මුව බැඳ ඇති මල්ලක් ලිහන බුද්ධිමත් පුද්ගලයා එහි ඇති මුං’, මෑ, තල, සහල් යන දෑ වෙන වෙනම නිවැරැදිව හඳුනගන්නා සේ දෙතිස් කුණුප මනාව හඳුනාගෙන කටයුතු කිරීම කය පිළිබඳ සිහියයි. එමෙන්ම තමාගේ මෙන්ම අනෙකාගේ කයෙහි ධාතුකොටස් එකතුව මනාව හැඳිනගැනීමත් සත්වයා යනු , පඨවි, ආපෝ, තේජෝ වායෝ යන්නෙහි එකතුවක් බව දැනීම කායානුපස්සනා සතිපට්ඨානයයි.
මියයාමෙන් දවස දෙකගත වීමේදී ශරීරයේ ස්වභාවය වෙනස්වීම දනීද? සතුන් විසින් කා දමන මිණිය, මස් නැති ඇටසැකිල්ල හදුනාගනීද? විසුරුණු අස්ථී කොටස් දනීද? සෑම කෙනෙකුගේම ශරීරය මේසා බව හැදින නුවණින් දැනගැනීම කය පිළිබඳ මනා සිහියයි. වෙනස්වන කයෙහි ස්වභාවය තමාටද පොදු වූවක්ය. එය ලෝකයෙහි යථාර්ථය බව හඳුනාගැනීම ඒ මත සිහිය පිහිටුවීම කායානුපස්සනාසති පට්ඨානයයි.

වේදනානුපස්සනා සතිපට්ඨානය
සැප දුක හෝ අතරමැදි ස්වභාවයේ වේදනාවන් හෙවත් දැනීම නුවණින් දැන ගැනීම ඒ මත ප්‍රඥාව ඇතිවීම වේදනානුපස්සනා සතිපට්ඨානයයි. ආමිස සාමිස දුක, ප්‍රඥාවෙන් හැඳිනීම අතරමැදි ස්වභාවයේ තත්වයන් යථාර්ථස්වභාවයෙන් දැනගත යුතුය.
සත්වයා මෙම වේදනාවන් විඳීම සඳහා බොහෝ පාපකර්ම සිදුකරති. එය ඥානාන්විත නොවේ. වේදනාව වේදනාවක් මිස පුද්ගලයෙක් හෝ ආත්මයක් ලෙස නොසැලකිය යුතුය. වේදනාව යනු? හේතූන්ගේ සම්භවයකි. එයට ස්ථීර පදනමක් නැත. ඇති වූ වහ වහා බිදීයයි. පැවතීමට ශක්තියක් නැත. වේදනාව හුදු වේදනාවක්ම පමණක් බව දැනීම, එය අනිත්‍යය ස්වභාවකොට ඇති බව හැඳින ගැනීම වේදනානුපස්සනාවයි.
මෙසේ අනුන් පිළිබඳව සොයා අවබෝධ කරගැනීමේ හැකියාව ඇතිකරගත යුතුය. වේදනාවන්ගේ හටගැනීම පැවතීම විනාශය හඳුනාගනිමින් ඒ මත සිහිය පිහිටුවා ගත යුතුය. මමය මාගේය, ලෙස ගැනීමේ තෘෂ්ණාධික භවෙන් ඉවත්ව කිසිවක් නිත්‍ය නොමැති තැන වේදනාවද එසේම බව සිතීම වැදගත්ය. එවිට තම සිත තම නුවණින් බැලීම වන්නේය.

චිත්තානුපස්සනා සතිපට්ඨානය
රාග සහිත සිත රාග සහිත ලෙසද මෝහ සහිත සිත මෝහ සහිත සිත ලෙසද මෝහ රහිත සිත එසේ දනීද? අනෙක් ක්ලේෂයන් සිතිවිලිද එසේම අවබෝධ වීම මනා සිහියයි. පඤ්චනීවරණ ධර්මයන්ගෙන් යුතු සිත එහි බලපෑම නුවණින් දැනීම ප්‍රඥාවෙන් බැලීම එයින් මිදුන ස්වභාවය අවබෝධ වීම සිතිවිලිවල යථාස්වභාවය නුවණින් දැනීම චිත්තානුපස්සනා සතිපට්ඨානයයි.

ධම්මානුපස්සනා සතිපට්ඨානය
පඤ්චනීවරතා ධර්ම නුවණින් බලා වාසය කරන ස්වභාවය ධම්මානුපස්සනාවයි. තමා තුළ පවතින කාමච්ඡන්ද ආදි ධර්ම “ඇත” හෝ “නැත” යන බව ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා ස්වභාවය නිවන්මග සඳහා අත්‍යවශ්‍යය. අනෙක් නීවරණතා ධර්මයන්ගේ ස්වභාවයද ඒ හා සමානය. ව්‍යාපාදය ඉපදේද, එය ප්‍රහාණයවන්නේද ප්‍රහාණය වු ව්‍යාපාදය නැවත මතු නොවන්නේද එම ස්වභාවය නුවණින් දනීද? එය යහපත්ය.

පඤ්ච උපාදානස්කන්ධය යමෙකු නුවණින් දනීද? යහපත් සිහියයි. රූපය මෙසේය . එහි ස්වභාවය මෙසේය වේදනාව මෙසේය සඤ්ඤා, සංඛාර යන මෙවැනි ස්වරූපයෙන් යුතුය. හටගැන්ම පැවැතීම පිළිබඳ ඇති අවබෝධය ඇත්තේද තමා මෙන්ම අනෙකාටද මෙය පොදු වූවේද යනු බව නුවණින් දැනීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි. ආධ්‍යාත්මික ෂඩායතන මෙන්ම බාහිර ෂඩායතන පිළිබඳ දැනීමද එසේමය. සප්ත බොජ්ඣංග ධර්මතාවයන් පිළිබඳ නුවණින් දැනීම මනා සිහියයි. මෙලෙස තමා තුළ පවතින සියලු ධර්මතාවයන් පිළිබඳ ඇතිවන නිරවුල් අවබෝධය ඒ මත සිහිය පිහිටුවා ප්‍රඥාව ඇති කරගැනීම ධම්මානුපස්සනා සතිපට්ඨානයයි. කෙටියෙන් ම පවසන්නේ නම් චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ධර්මානුපස්සී වීමද අයත් වන්නේ ඉහත ගුණයටය.

වේදනාව පිළිබඳ වැරදි හැඟීම් දුරුවීමෙන් වේදනානු- පස්සනා සතිපට්ඨානය ඇතිවේ. චිත්තය සම්බන්ධ වැරැදි හැඟීම් දුරුවීම තුළ චිත්තානුපස්සනා සතිපට්ඨානය ඇතිවේ. අනෙක් කාරණාවෝද එසේමය. බුදු සසුන බොහෝ කාලයක් පැවැතීමට හේතු ලෙසද බුදුරදුන් සතිපට්ඨානය දක්වනුයේද මෙම ගුණ ලොකෝත්තර සුඛය සඳහා හේතුවන බැවිනි. එහෙයින් තම විමුක්තිය මෙන්ම සමාජ සුබසිද්ධි විෂයෙහි සතිපට්ඨානය වැඩීම යහපත්ය.

සූත්‍රයෙහි අවසානයේදි පවා මෙහි වටිනාකම අවධාරණය වී ඇත. එනම් යමෙකු සත් දවසේ සිට වසර හතක් දක්වා කාලයක් මෙය වඩන්නේ නම් ක්‍රමිකව සංයෝජන නැති කරගනිමින් ඊළඟ භවයකදී නිවන ලද හැකි බවයි. සත්වයන්ගේ පිරිසුදු බව සඳහා දුක් දෝමනස්සයන් ගෙන් අත්මිදීම පිණිස නිවැරැදි මග ආර්යමාර්ගයේ අවබෝධය සඳහා මෙන්ම නිවන් ලැබීම පිණිස ඒකායන මාර්ගය සතිපට්ඨානයයි. මෙය මෙසේ වඩන්න යැයි බුදුරදුන් දේශනා කර ඇත්තේ නිවන සඳහා නොවරදින මග නිසා බව තමන් වහන්සේ දැක පසක් කොට ඇති බැවින් බව උන්වහන්සේ දේශනා කළහ. සසර උපදන වාරගණන අඩු කරමින් භව නිරෝධය ලැබීමට සත්වයා මෙම කරුණු හතර එක්කර ගැනීම දෙලොව සැපතට මහඟු පිටිවහලකි.

සුත්‍ර දේශනාව ශ්‍රවණය කිරීම මෙතැනින් 

පැහැදිලි කිරීම :කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි