ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ



භාරත දේශයේ හිමාලය කඳුවැටිය අසල පිහිටි සුප්‍රසිද්ධ ශාක්‍ය ජනපදයේ රජකළ සුද්ධෝදන රජුට දාව මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳගත් බෝධිසත්වයන් වහන්සේ, ‘ද්වත්තිංස මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසීත්‍යනු ව්‍යඥජනයන්ගෙන්’ යුක්ත වූහ.

ක්‍රි. පූර්ව 6වන සියවස වනවිට භාරතීය ජනතාව බුදුවරයෙකු දැක ගැනීමේ ආශාවෙන් සිටි බව මහා පරිනිර්වාණ සූත්‍රයෙන් පැහැදිලිවේ. පොක්ඛරසාති නැමැති බ්‍රහ්මණයා බුදුරදුන් ගැන අසා උන්වහන්සේ‍ පිළිබඳ පරීක්ෂා කර බැලීම සඳහා අම්බට්ඨ නැමැති මානවකයා යැවූ බවත්, එසේම කොසොල් රජු, බුදුරදුන් හමු වූ පළමු දිනයේදීම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ඔබ සම්බෝධිය අවබෝධ කළෙහිදැයි ඇසූ බවත් සංයුක්ත නිකායෙහි සඳහන් වේ.

“තීර්ථංකර” – “ජීන” – “අරහත්” යන පද තුළ මහා පුරුෂයෙකුට අයත් භාවමය ගුණාංග ඇතුළත්ව ඇතිබව ජෛන ආගමික ඉගැන්වීම්වලින් පැහැදිලිවේ. බුද්ධවංශය නැමැති පැරැණි ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ, බුදුරදුන් පහළවීමටත් පෙර දේවතාවෙක් පැමිණ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වූ සම්බුදු රජාණන්වහන්සේ කෙනෙකුන් භාරත දේශයෙහි පහළවන බව ජනතාව වෙත දැනුම්දුන් බවයි.

ලලිත විස්තරය හා සද්ධර්ම පූණ්ඩරීකය වැනි මහායාන ඉගැන්වීම්වල, මහාපුරුෂයන් ලෙස මෙලොව උපදින උතුමන්ගෙන් මව සහ පියා ද මහාපුරුෂ ලක්ෂණවලින් යුක්තවන බව සඳහන්ව ඇත. එසේම කෙනෙකු තුළ එම ලක්ෂණ භවයෙහි ආත්ම ගණනාවක් තිස්සේ කරන ලද අභ්‍යාසයන් නිසා ඇතිවන බව ඔව්හු කියති.

ඒ අතර දීඝ නිකායේ ඵාඨික වග්ගයේ ලක්ඛණ සුත්‍රයට අනුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මෙසේ දක්නට ලැබේ.
මනාව පිහිටි පාද, සම පාදයන්ගේ සක් ලකුණු, දික්වූ විළුඹ, දික් වූ ඇඟිලි, මෘදු වූ අතුල් හා පතුල්, දැල් කවුළුවක් බඳු අත් පා, මත්තෙහි ගොප් ඇට පිහිටි පා, ඕලු මුවන්ගේ වැනි කෙණ්ඩා, නොනැමී දෙඅත්ලෙන් දණහිස් පිරිමැදිය හැකිවීම, කොපුවෙහි ගිලුණු ළිඟුව, රන්වන් පැහැය, සියුම් වූ සිවිය, දූවිලි නොරඳන ශරීරය, එක් එක් ලොම් වෙයි, එක් එක් ලෝම කැපයෝ වෙයි, අත්වල උඩුකුරු වූ අත් ලොම් වෙයි, සෘජු වූ ශරීරය, කෙසෙහි සත් තැනෙක පිපුණේ වෙයි, සිංහ රාජයෙකු සේ පිරුණු කය, පිරුණු පිට, බඹයක් පමණ වූ ශරීරය, සම වූ ගෙලවට, රස නහර තුඩුදුන් ගෙල, සිංහ රාජයෙකුගේ වැනි හනු, දත් හතිලිහ, එමදත් අතර විවර නැතිවීම, ඉතා සුදු වූ දත්, සමාන දත්, පුළුල් දිව, බඹහුගේ මෙන් හැඩ, වසු පැටවෙකුගේ වැනිනෙත්, දෙබැම අතර ඌර්ණ රෝමය.

එකල භාරතයෙහි සුප්‍රසිද්ධව සිටි වස්සකාර නැමැති බ්‍රාහ්මණයා ඉහත දක්වන ලද ලකුණු නිරීක්ෂණය කොටබලා ගෞතම බුදුරදුන් මහා පුරුෂයෙකු ලෙස පිළිගත්තේය. බ්‍රාහ්මණයෙකු විසින් අනිවාර්යයෙන් ඉගෙනගත යුතු වූ විෂය කරුණු අතරට මහාපුරුෂ ලක්ෂණද ඇතුළත්ව තිබිණි.

කෙසේ වෙතත්, මහා යාන බුදුසමය බුදරදුන්ගේ ශරීරයෙහි ප්‍රකටව පැවැති මහා පුරුෂ ලක්ෂණ වැඩි දියුණු කොට ඉදිරිපත් ඇති අයුරු දක්නට ලැබේ. ඒ අතර, බෞද්ධ කලා කෘති නිර්මාණයෙහිදී එම කලාකරුවන් විසින් ද තවත් විශේෂ ලක්ෂණ ඉස්මතු කොට දක්වා ඇත.

විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ දසබලධාරීත්වය පෙන්වීම සඳහා සවණක්රැස් - සිරස්පත - කේතුමාලා - පුළුල් වු නළල්තලය - දිගු කන් - වටකුරු වූ නිකට - නොවක් වූ නාසය - තුන් ඉරි ගෙළ - නළල මත ඌර්ණ රෝම ධාතුව - දේදුණු ඇහිබැම - උරමඬලේ පුළුල් බව - සිහින් ඉඟ - නෙලුම්පෙති හැඩයෙන් යුත් නිය හා ඇඟිලිතුඩු මන්දස්මතිය - අඩවන් දෙනෙත ආදී ලක්ෂණ ද ඒ අතර වෙති. මීට සමානරූපී තවත් සුවිශේෂීතාවන්ගෙන් යුත් දුටුවන් වශිකෘතවන අයස්කාන්ත දේහධාරී පුද්ගල ස්වරූපයක් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය තුළින් ප්‍රකට වූ බැව් පෙනේ.

සාලිය අමරසිංහ හඳගම
(Dinamina)