නිවන් දැකීමට කල යුත්තේ පින්ද? කුසල්ද?

“ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං – යම් මේ සියළු සංස්ඛාර සමථයට පත්වුනාවූ සියළු උපධීන් බැහැර වුනාවූ තණ්හාව ක්‍ෂය වුනාවූ නිරෝධය වූ නිවනක් වෙයිද එය ශාන්තය එය ප්‍රණීතය.”
නිවන් දැකීම පිණිස පින් කල යුතුද? කුසල් කල යුතුද ? යන මේ ගැටළුව නිවැරදි විසඳුමක් ලැබීමකින් තොරව සමාජ කතාබහට ලක්වන්නකි. කෙනෙකු පින් කළහොත් සසරෙහි ඇවිදින්නට වන්නේය එබැවින් පින් නොකර කුසල් කල යුතුය යැයි පවසයි. එසේ පවසන්නේ කවර පදනමක සිටදැයි ඔවුන්ගේ ස්ථාවරක් නොපෙනේ. එබැවින් පින කුමක්ද? කුසලය කුමක්ද? ඒවා නිවනට කෙසේ ප්‍රත්‍ය වෙයිද කියා විමසා බලා තීරණයකට පැමිණිය යුතුය. එබැවින් ඒ සඳහා මෙසේ උත්සහ දරමු. අපද නිවනට පත්නොවී ඇති බැවින් නුවණින් විමසා බලා පිළිගන්න.

පින නම් කවරේද? “හදයං පුනාතීති පුඤ්ඤං – හදවත පවිත්‍ර කෙරෙයි යනුයෙන් පින නම් වේ.” යනු සන්නයයි. 
(පුන + ණා + ති ) බොහෝ විට දේශකයන් මෙන්ම අවිධිමත් පොත් ලියන්නන්ද “හදයං පුනාතීති පුඤ්ඤං” යන්න “හදවත පිනවයි යන අර්ථයෙන් පින නම් වේ” යනුවෙන් වරදවා දක්වයි. ඉහත යෙදෙන “පුන” ධාතුව පවිත්‍ර අර්ථයෙහි යෙදෙයි. පිනවීම අර්ථයෙහි යෙදෙන්නේ “පීණ” ධාතුවයි. එය ව්‍යකරණයේදී (පීණ + ණෙ + ති) යනුවෙන් සන්ධි වේ. එසේ අර්ථ දැක්වීම වරදවා ගැනීම නිසා සෙසු සියල්ල වරදවාගෙන ඇත. එබැවින්ම බුදු දහම දැනගැනීමට පාලි භාෂාව උගත යුතු බව ද පවසන්නෙමු.

එසේ පිනෙන් හදවත පිරිසිදු කරන්නේ කෙසේද? මෙසේ ගනිමු. පුණ්‍යක්‍රියා දසයෙකි. දාන, සීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, වැඩිහිටියන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවනය කිරීම, සම්‍යක් දෘෂ්ටියට පැමිණීම ඒවා වේ. මේ දස පුණ්‍ය ක්‍රියා තුල හැසිරෙන කල හදවත නොහොත් සිත කෙලෙසුන්ගෙන් පවිත්‍ර වේ. ඒ පුණ්‍ය ක්‍රියා කල යුත්තේ කුසල් සිත්වලින් වීමයි. කුසල් සිත්වල යෙදෙන්නේ කුසල චෛතසිකයෝම බැවින් ඒ කුසල සිතින් කටයුතු කරන කල සිත අකුසලයන්ගෙන් පවිත්‍ර වී ඇත. එසේ අකුසල් සිත් හෝ චෛතසික නොමැතිවීම සිතෙහි පවිත්‍ර භාවයයි. එසේ කෙලෙසුන්ගෙන් පවිත්‍ර වන කල ස්වභාවයෙන්ම සිත පිනා යයි. එය එකවරම සිදුවන ක්‍රියා දෙකකි. එනම් පහනක් දල්වන කල ආලෝකය පැතිරීමත් අඳුර දුරුවීමත් එකවිට සිදුවන්නා සේ හදවත පිරිසිදු වන විටම පිනා යාමද සිදුවේ.

නමුදු පිනායන සැමතැනම හදවත පිරිසිදු වන්නේ නැත. ලෝභ මූලික අකුසල සිතක් ගත්කල එහි සොමනස්සය යෙදෙන අවස්ථා ඇත. එසේ සොමනස්සය යෙදෙනවිට සිත පිනා යයි. නමුදු එතැනදී සිත ලෝභයෙන් අපවිත්‍ර වී ඇත. එබැවින්ද පින යනු හදවත පිනවන්නක් නොව පවිත්‍ර කරන්නකි.
දැන් කුසලය යනු කුමක්දැයි විමසමු. “කුච්ඡිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විධ්ධංසෙන්තීති කුසලා – ලාමක වූ පාප ධර්මයන් සොලවයි, චලනය කරයි, කම්පා කරයි, විනාශ කරයි යන අරුතින් කුසල නම් වේ. එනම් ලාමක වූ ලෝභාදී වූ අකුසලයෝ දුරුකරයි නම් ඒ කුසලයෝ වේ.
ඒ කුසලයෝ දසයකි. ප්‍රාණඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම, දැඩි ලෝභය දුරුකිරීම, ව්‍යාපාදය දුරුකිරීම, මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම යනු ඒවා වේ. මේ කුසලයන් තුල හැසිරෙන කල සිත අකුසලයන්ගෙන් මිදෙන බැවින් සිත පවිත්‍ර වේ. එබැවින් පින හා කුසලය ගත්කල දෙකෙහිම සමාන ක්‍රියාවන් දක්නට ඇත.

එසේම මේ කුසලයන් තුල හැසිරිය යුත්තේද ඉහත දක්වන ලද කුසල සිත්වලින්ම වේ.එබැවින් පින් කිරීමද කුසල් කිරීමද යන දෙකම කල යුත්තේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් සිත් වලින්ම වේ. ඒ අනුව ගත්කල කුසලයන්ගේද පුණ්‍ය ක්‍රියාවන්ගේද ප්‍රභවය එකකි. එනම් අලෝභ අදෝස අමෝහ යන කුසල මූලයෝම වේ. මේ කුසල මූලයන්ගෙන් තොරව පින් හෝ කුසල් කල නොහැක. එබැවින් යමෙකු පින් කමක් කලේද කුසල ක්‍රියාවක් කලේද ඔහුට ඇතිවන්නේ කුසල මූල ජවන් වීථිම වේ.
තවද කුසල කර්මයක් ගත්කල ඒ හරහා පිංකමක් සිදුවීම ඒකාන්තය. ඒ මෙසේයි.
ඔබ ප්‍රාණඝාතයෙන් වලකිනවා යනු සීලමය පින්කමයි. සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන මේ සියලු කුසල්හි හැසිරීම යනු සීලමය පිංකම් සිදුකිරීමයි. දැඩි ලෝභය දුරුකිරීම් නම් වූ කුසලය තුල හැසිරෙන්නේ නම් දානය නැමැති පිංකම සිදු කළා වේ.  ව්‍යාපාදය දුරුකරන්නේ නම් මෛත්‍රී භාවනාව කලා වේ. මිත්‍යා දෘෂ්ටිය දුරුකරයි නම් සම්‍යක් දෘෂ්ටියට පැමිණීම නම් වූ පිංකම සිදුකලා වේ. ඒ අනුව කුසල කර්මයක් සිදුකිරීම යනු එකාන්තවම පින්කමක් සිදුකලා යන්නයි. එබැවින් පිංකම යනු කුසලය තුල අඩංගු වුවකි.

නමුදු පින් කමක් ගත්කල එය කුසලයක් වීමටද නොවීමටද හැක. ඒ පින්කම් සිදුකරන අදහස විවිධ වන බැවිනි. එනම් ඔබට භවභෝග සම්පත්ති පතා දන් දිය හැක. එවිට එය දානමය පුණ්‍ය කර්මයකි. නමුදු එය  ලෝභය දුරුකිරීමක් නොවන බැවින් කුසලයක් නොවේ. සීලය රකියි නම් එය පින්කමක් සේම කුසලයක්ද වේ. නමුදු දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් පතා සිල් රකියි නම් එය හීන වූ තෘෂ්ණාවෙන් කෙලෙසුනා වූ දුර්වල කුසලයකි. භාවනාවද එසේමය. එසේම සෙසු පින්දීම, පින් අනුමෝදන් වීම,වතාවත් කිරීම…. යනාදී වූ පින්කම් ද තෘෂ්ණා ආදියෙන් කෙලෙසී ඇතිනම් හා සම්‍යක් දෘෂ්ටිය නොයෙදී ඇතිනම් ඒවා පින්කම් පමණක් වේ. නමුදු දුර්වලව හෝ කුසලයක් ඇත. එබැවින් පින්කමක් සිදුකිරීම යනු පිරිසිදු කුසලයක් වීමට හා නොවීමටද පුළුවන.

එබැවින් පිනට වඩා කුසලය ඉදිරියෙන් සිටි.

දැන් නිවන් පිණිස කල යුත්තේ කුමක්දැයි සොයා බලමු.

“එකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා – මහණෙනි යම් මේ සතර සතිපට්ඨානයක් වෙයිද එය සත්වයින්ගේ විසුද්ධිය පිණිස සෝක පරිදේවයන්ගේ ඉක්මවීම පිණිස දුක්ඛ දෝමනස්සයන්ගේ අවසානය පිණිස ඤායයාගේ අධිගමය පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිස එකම එක මාර්ගය වන්නේය.”

ඒ අනුව නිවන් ශාක්ෂාත් කිරීම පිණිස කල යුත්තේ සතිපට්ඨානය වැඩීමයි. සතිපට්ඨානය වැඩිම යනු කයෙහි කය අනුව බැලීමත්, වේදනාවෙහි වේදනාව අනුව බැලීමත්, සිතෙහි සිත අනුව බැලීමත්, චෛතසික ධර්මයන්හි චෛතසික ධර්ම අනුව බැලීමත් යන සතරයි. එසේ ඒ සතරක් වූ සතිපට්ඨාන වැඩීමට නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සෙසු අංග වඩා සිටිය යුතුය. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම යන සෙසු අංග හය එකාන්තව වඩා සිටීම අනිවාර්ය වේ. නොමැතිව එකහෙලාම සතිපට්ඨානය වැඩිය නොහැකිය. සෙසු අංග තිබුනේද සතිපට්ඨානය අත්‍යාවශ්‍ය අංගය වන බැවින්ම එයම ඒකායන මාර්ගය කොට දක්වයි.
මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම ගත්කල ඒ තුල කුසල කර්මයෝ  මෙන්ම පුණ්‍ය ක්‍රියාවෝද අඩංගු වන්නේමය. ඒ මෙසේයි.

සම්මා දිට්ඨිය ගත්කල ඒ තුල මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම නම් වූ කුසලයද, සම්‍යක් දෘෂ්ටියට පැමිණීම යන පුණ්‍ය ක්‍රියාවද අඩංගු වන්නේමය. එනම් මෙහි සම්මා දිට්ඨිය යනු චතු සච්ච සම්මා දිට්ඨියයි. ඒ තුල කුසල නම් වුද පින් නම් වුද දසවස්තුක සම්මා දිට්ඨිය අඩංගු වන්නේමය. එබැවින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි වූ සම්මා දිට්ඨිය වඩන්නේ නම් ඒ හරහා කුසලයද පිනද සිදුවී හමාරය.
සම්මා සංකප්ප වැඩීමේදී නෙක්ඛම්ම සංකප්පය තුලින් ලෝභය දුරුකිරීමේ කුසලයද දානමය පිනද සිදුවේ. එසේම අව්‍යාපාද සංකප්පය තුලින් ව්‍යාපාදය දුරුකිරීමේ කුසලයද භාවනා පිනද සිදුවේ. අවිහිංසා සංකප්පය එයටම සහයෝග වේ.

සම්මා වාචා තුලින් බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන කුසලයෝ ද සීලමය පිනද සිදුවේ.
සම්මා කම්මන්ත තුලින් ප්‍රාණඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම යන කුසලයෝද සීලමය පිනද සිදුවේ.

සම්මා ආජිව නම් වූ දැහැමි දිවි පැවැත්ම ඒ කුසලයන්ටද පින්වලටද සහයෝගය දක්වයි. එසේම කුසලක්‍රියා හා පුණ්‍ය කර්මයෝ නිසාද දිවිය ධර්මානුකූල වේ.
සම්මා වායාම හරහා අකුසල් දුරුකිරීම හා නූපදවීම තුලින් කුසල කර්ම මෙන්ම පුණ්‍යක්‍රියා ද සිදුවේ. කුසල් ඉපිදවීම හා දියුණු කිරීම හරහාද එසේමය.

මේ අනුව ගත්කල පෙනෙන්නේ, පින යනු කුසලය තුල අඩංගු වුවකි. කුසලය යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල අඩංගු වුවකි. එබැවින් නිවන් පසක් කරනු කැමති තැනැත්තා කල යුත්තේ පින්කම් කිරීමවත් කුසල් රැස් කිරීමවත් නොව ඒ උතුම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමය යන්නයි.
එබැවින් ඔබ දුක් විඳින්නෙක් නම් ඔබට දුකින් මිදීමට අවැසිනම් අන් කිසිවක් නොකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න. තෙරුවන් සරණයි…!!!

– වැල්ලවායේ සුමනබෝධි හිමි

දත් | teeth

1412639006541_wps_71_A9R2P6_Girl_brushing_teet

ජර්මනියේ දන්ත වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ අපගේ සෞඛ්‍ය පුරුදු,හැසිරීම් රටාවන්,ආහාර පුරුදු ආදී දෛනික දිවියේ එදිනෙදා කි‍්‍රයාකාරකම් සියල්ලම පාහේ අඩු හෝ වැඩි වශයෙන් දත් දෙපළේ මෙන්ම මුඛ සෞඛ්‍යය කෙරෙහි බලපාන බවයි.
පහත දැක්වෙන්නේ දන්ත සෞඛ්‍යයට අහිතරක බලපෑම් එල්ල කරන බවට පර්යේෂක පිරිස හඳුනාගෙන ඇති අප කිසිදිනෙකවත් අපගේ දත් වලට හානිගෙන දෙනු ඇතැයි නොසිතන කි‍්‍රයාකාරකම් කිහිපයකි.

සීත කාලගුණයකදී සිරුරට ප‍්‍රබෝධයක් දීම සඳහා පානය කරන තේ වීදුරුව
උණුසුම් වීමට යැයි කියා පානය කරන තේ හෝ වෙනත් කිසියම් උණුසුම් පානයකින් දතෙහි මතුපිට ඇති දන්තිනයට හානි පැමිණීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති.< දතට අනන්‍ය වර්ණය ලබාදෙන දන්තිනය නොනවත්වාම උණුසුම් පානයන් හා ගැටුනහොත් එය ඉරිතැලෙන බවද මෙම ඉරිතැලීම් දිගින් දිගටම වර්ධනය වුවහොත් එම පැලූම් ඔස්සේ දතෙහි අභ්‍යන්තරයට ඇතුලූවීමට ඉඩ ඇති බැක්ටීරියා වලින් විවිධාකාරයේ ආසාදනයන් ඇතිවීමට ඉඩ තිබෙන බවද ඔවුහු අනතුරු අගවති.< මෙනිසා හොදම දෙය සීත යැයි කියා ඉතා උණුසුම් පානයන් පානය කිරීමෙන් වැළකී ඒවා පමණට උණුසුම් වූ පසු පානය කිරීම බව ඔවුහු පවසති.

කට ඇරගෙන පිහිනීම
ජලය පිරිසිදු කිරීමට යොදාතිබෙන ක්ලෝරීන් දත් දිරායාමටත්,දත් අවපැහැ ගැන්වීමටත් හේතුවන බව හඳුනාගෙන තිබෙන්නකි. මෙනිසා හැකි සෑම විටම කට වසාගෙන පිහිනීමට උත්සාහ කිරීම සුදුසුය.

සෙම්ප‍්‍රතිශ්‍යාවට ගනු ලබන ඇතැම් ඖෂධ
ඇතැම් ඖෂධ ඛේට ග‍්‍රන්ථි වල කි‍්‍රයාකාරීත්වයට බලපාන හෙයින් වියළි මුඛයක් ඇතිවිය හැකි බවත් එය දන්ත සෞඛ්‍යයට අයහපත් බවත් පර්යේෂකයෝ කියතිල දත් නොනවත්වාම ඛේටයෙන් ස්නේහනය කරවීම ඒවායේ පැවැත්මට වැදගත්ය. මෙවන් අවස්ථාවක සීනි රහිත චුවින්ග්ගම් සැපීමෙන් හෝ ජලය පානය කිරීමෙන් දත් වලට විය හැකි හානි වළක්වාගත හැකිය.

දත්වලින් පොලිතින් හා ප්ලාස්ටික් කවර ඉරා දැමීම
මෙවන් අවස්ථාවලදී දත් මත යෙදෙන අධික පීඩනය නිසා දත් ඉරිතලා යා හැකියැයි සඳහන්ය.

ආහාර ගත් වහාම දත් මැදීම
ආහාර වල ඇති අම්ල හා සීනි දතෙහි එනැමලය මත තැන්පත් වේ.එනැමලය මත පිහිටන ආරක්ෂක ස්ථරය එම අම්ල හා සීනි වලින් දතට විය හැකි හානි මැඩපැවැත්වීමේ සමත්ය. නමුත් ආහාර ගත් වහාම දත් මැදි විට මේ ස්ථරය ගැලවී ඉවත්ව යයි.නැවත ස්ථරයක් ගොඩනැගීමට පැය භාගයක් පමණ කාලයක් ගතවන අතර ඒ වන විට දත් මැදි පසුත් මුඛයේ රැඳී තිබෙන්නට ඉඩ ඇති අම්ල හා සීනි වර්ග දත් මත රැදී ‘‘වැඩ‘‘ අරඹා තිබෙන්නට පිළිවන. මෙනිසා පර්යේෂකයින් උපදෙස් දෙන්නේආහාර ගෙන පැය භාගයක් පමණ හිඳ දත් මදින ලෙසයි.

උපත්පාලන පෙති භාවිතය
ඇතැම් උපත්පාලන පෙති භාවිතා කළ පසු විදුරුමස් ඉදිමේ.පර්යේෂකයින් පවසන්නේ උපත් පාලන පෙතිවලින් සිරුරේ හෝමෝන කෙරෙහි බලපෑමක් ඇතිවන නිසා එහි අතුරුඵලයක් ලෙස මෙසේ සිදුවන බවයි. හෝමෝන සාන්ද්‍රණය අඩු වෙනත් උපත්පාලන පෙති වර්ගයක් භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවීම වළක්වාගත හැකිය.

දත් වල හිල් තබාගෙන (දන්ත කුහර) ගුවන්ගමන් වල යෙදීම
මෙවන් කුහර වල සිරවී තිබිය හැකි වායු බුබුලූ ගුවනේ අඩු වායුපීඩනය නිසාවෙන් පිටතට පැමිණීමට ඉඩ ඇත.මෙවිට අධික වේදනාවක් දැනීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති. ගුවන්ගමනක යෙදීමට ප‍්‍රථමයෙන් දත් පිරවීමට අවැසිදැයි දන්ත වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගන්නා ලෙස ඔවුන් උපදෙස් දේ.

තෝරතෝංචියක් නැති කියවිල්ල
පමණට වඩා කට වැඩකරවන්නට යෑමෙන් හකු සන්ධිය ගෙවී යන බව පර්යේෂකයින් අනතුරු අඟවති. සන්ධිය ගෙවුනු විට කට ඇරගෙනම සිටීමට සිදුවනු ඇත.

වේදනා ගෙන දෙන දතකට ඇස්පී‍්‍රන් තැවරීම
මෙය ඉක්මන් සහනයක් ගෙන දුන්නද ඇස්පී‍්‍රන් නිසා මුඛයේ ඇති සියුම් හා සංවේදී පටක විනාශ විය හැක. ඇස්පී‍්‍රන් පෙත්තක් ගිලීමෙන්ද වේදනාව සමනය වන බැවින් එසේ කිරීම වඩා සුදුසුය.

ඇදුම රෝගයට ‘‘ඉන්හේලර්‘‘ භාවිතය
ඇතැම් ඉන්හේලර වල ඇති සංයෝගයන් දත් දිරායෑමට හේතුවන බව සොයාගෙන ඇත. පර්යේෂකයින් උපදෙස් දෙන්නේ ඉන්හේලරය භාවිතා කරන විටදී එය දත් වල නොගැටෙන සේ තබා ගත යුතු බවයි. ඉන්හේලරය භාවිතා කිරීමෙන් පසු මුඛය හොදින් සේදීමද සුදුසුය.

දිය යට කිමිදීම
කිමිදීමේදී දත් අතර සිරකර තබා ගැනීමට දෙන ප්ලාස්ටික් තල්ලට යෙදීමට සිදුවන පීඩනය දත් කැක්කුම්,හකු රිදුම්, වැනි රෝග තත්ත්වයන් වලට හේතුවන බව සොයාගෙන ඇත.
~ From Lankadeepa

බිල් ගේට්ස් ගෙන් ජිවිතයට | How Bill Gates Sea the Life




බිල් ගේට්ස්ගේ දේශනයක් අතරතුරදී  ඔහු ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් එකොළහක් ගැන කිව්වා. මේ දේවල් අපේ ජිවිතයට කොපමණ අදාල කරගත හැකිද විමසන්න.

අංක 1
අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.

අංක 2
අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.
ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්
ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්
ඔබෙන් බලාපොරොත්තුවෙනවා.

අංක 3
ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්
අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි.
නමුත් එහෙම වෙන්නේ නැහැ.
කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක
ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.

අංක 4
ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,
කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.

අංක 5
ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන
එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.
ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්.
ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.

අංක 6
ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.
එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල ,
වැරදි හදාගන්න.

අංක 7
ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
බැරි තාලේ අය කියල?

ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
ඔබගේ රෙදි හෝදලා,
ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.

අංක 8
ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.
සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න
අවස්ථා දෙන්න ඇති.
මතක තියාගන්න.
ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ.

අංක 9
ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල
බෙදල වෙන් කරලා නැහැ.
අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,
ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.

අංක 10
ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.
ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.
රස්සාව කරන්න යන්න වෙනවා.

අංක 11
ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
කව්ද දන්නේ ඔය පොරකට
කවද හරි බොස් කියන්න වෙයිද කියල?

උපුටා ගැනීම
අන්තර්ජාලයෙනි

අමරණීයත්වය | Immortality



මරණය පරදවා සදාකාලිකව ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳ මිනිසුන් සියවස් ගණනාවක සිට පර්යේෂණ කරමින් සිටියි. මෙතෙක් කාලයක් ගොඩබිම සිදුකළ මේ පර්යේෂණ දැන් සාගරය දෙසට ද යොමුවී ඇත.
ක්යෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා ජල්ලිමය මුහුදු සතුන් සම්බන්ධයෙන් 1979 සිට අධ්‍යයනය කළේය.රතු පැහැති ජෙලි ෆිෂ් විශේෂයක් කෙරෙහි ඔහුගේ අධ්‍යයන කටයුතු වැඩිපුර යොමුවී පැවතිණි.

ඔහු ඒ ගැන මෙසේ කියයි.
‘‘ එක් දිනක් මගේ ප්ලවාංග සහිත දැලේ රතු පැහැති කුඩා ජෙලි ෆිෂ් කෙනෙකු සිටියා. තියුණු කෝටු උගේ සිරුරේ ඇනී තිබුණා. ඒ ගැන දුක සිතී මා එම කෝටු ගලවා ඉවත් කළා. මගේ අපේක්ෂාව වුණේ මේ සතා නැවත යථා තත්ත්වයට පත්කර පිහිනා යාමට සැළැස්වීමයි. එසේ කිරීමට නොහැකිව ඌ හැකිළුණා. නමුත් ඌ ඉතා ඉක්මණින් තිරිහන් වුණා. මේ කුඩා මුහුදු සතා යොදා සදාතනික ජීවිතය පිළිබඳ යම් අදහසක් ගත හැකියැයි මට දැඩි විශ්වාසයක් ඇතිවුණා. “

රතු ජෙලිෆිෂ් සම්බන්ධයෙන් පර්යේෂණයේ නිරත වූ මහාචාර්ය කුබෝටා පවසන්නේ වැඩුණු ජෙලිෆිෂ් හෝ මෙඩුසාවෙක් (ජෙලිෆිෂ්ගේ කුඩා අවධිය හඳුන්වන්නේ මෙඩුසාවන් යනුවෙනි) තුවාලයක් සිදුවූ විට මුහුදු පත්ලට ගමන් කරන බවයි. එහිදී තම බිළිඳු අවධියට යලි රූපාන්තරයණය ආපස්සට ගෙන යන මේ අපූරු සත්ත්වයා මුලින්ම අලුත් බහුපාදිකයෙක් බවට පත්වෙයි. ඉන්පසු මේ සතා යළි නව ජෙලි ෆිෂ් කෙනකු බවට පත්වේ. වැඩුණු සතෙක් බිළිඳකු බවට රූපාන්තරණය වීමට මාස දෙකක පමණ කාලයක් ගතවන බව මහාචාර්යවරයා කියයි.

මහාචාර්ය කුබෝටා සිය පර්යේෂණාගාරයේ දී එක් ජෙලිෆිෂ් සතකු 12 වතාවක් සාර්ථක ව තිරිහන් කළේය.
‘‘ මේ සියල්ල සාර්ථක වුවත් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. තිරිහන් වීම සම්බන්ධ යම් වැදගත් සාක්ෂියක් රතු ජෙලිෆිෂ් ගෙන් අපට ලබාගත හැකියි. එය මිනිසුන්ට ආදේශ කළ හැකි වුවහොත් මිනිසා අමරණීයත්වයට ගෙන යා හැකි වේවි. “

read more
~මෙම ලිපිය අන්තරජාලයෙන් උපුටාගන්නා ලද්දක් බව සලකන්න

සේවකයන්ගේ නිවාඩු අයිතිය | Law on Leaves

ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එහි කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සේවක සේවිකාවන් යොදවා ගැනීම සිදුවේ. මෙහිදී ආයතනයක සේවයේ යෙදෙන්නා සේවාදායකයා (Employee) ලෙස සැලකෙන අතර සේවාවෙහි යොදවන්නා සේවා යෝජකයා (Employer) ලෙසද හැදින්වේ.
මෙම ලිපිය මගින් රාජ්‍ය නොවන අනෙකුත් ආයතනවල සේවයේ යෙදෙන සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු සම්බන්ධව ඉතා වැදගත් කරැණු රැසක් ඉදිරිපත් කෙරේ. මෙම කරැණු සම්බන්ධව සලකන විට ප්‍රධාන වශයෙන් නීතිමය පණත් දෙකක් අදාල වේ. එනම්,
  1. සාප්පු හා කාර්යාල සේවක පණත
  2. පඩිපාලක සභා ආඥා පණත
සාප්පු හා කාර්යාල පණතට අදාලව ගත්කල සාප්පු වශයෙන් සැලකෙන්නේ තොග සහ සිල්ලර වෙළද ව්‍යාපාර, ආහාරපාන අලෙවි සැල්, බේකරි, සිනමා ශාලා, කොණ්ඩා කපන සහ රෑපලාවන්‍යාගාර, නේවාසික හෝටල්, ඇදුම් මසන සාප්පු, ඛණ්ජ තෙල් විකුණුම් ස්ථාන, විවිධ අලෙවිසැල් සහ ගනුදෙනුකරැවන් සදහා භාණ්ඩ හෝ සේවා සපයන ගබඩා හෝ මධ්‍යස්ථාන සදහන් කල හැක.
කාර්යාල ලෙස සැලකෙනුයේ ව්‍යාපාරික කාර්යයන් සදහා පවත්වාගෙන යනු ලබන කාර්යාල, හෝටල්, සමාජශාලා, සිනමා ශාලා, පාසැල්, කර්මාන්තශාලා ආදිය වේ.
ඉහත සදහන් කල පණත් දෙකට අනුව සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු මොනවාද යන්න දැන් විස්තර කරමු.
ව්‍යවස්ථාපිත නිවාඩු (Statutory Holidays)
ඉහත දැක්වු පණත් දෙකම යටතට අයත් සේවක සේවිකාවන් රජය විසින් වර්ෂයක් සදහා ප්‍රකාශයට පත්කල විශේෂ වෙළද නිවාඩු 08 කට හිමිකම් ලබයි.  මේ යටතේ සැලකෙන නිවාඩු වනුයේ,
  • ජාතික නිදහස් දිනය
  • දෙමළ තෛපොන්ගල් දිනය
  • මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
  • සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනට පෙර දිනය‍
  • සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනය
  • මැයි 01 දින කම්කරැ දිනය
  • වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
  • නත්තල් දිනය
ඉහත සදහන් ව්‍යවස්ථාපිත නිවාඩු සති නිවාඩු දිනයකට යෙදී තිබුණි නම් එම දිනයට හිලව් ලෙස නිවාඩු දිනයක් හෝ දින ½ ක් ලබාදිය යුතුය (පඩි පාලක සභා පණත යටතට ගැනෙන සේවක සේවිකාවන්ට අදාල නොවේ.)
 පුර පසලොස්වක පොහොය දින නිවාඩු (Full Moon Poya Holidays)
සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම නිවාඩු දිනයක් ලෙස සලකා නිවාඩු ලබාගැනීමට ඉහත පණත් දෙක යටතට අයත් සේවක සේවිකාවන්ට හැකියාව පවතී.
වාර්ෂික නිවාඩු (Annual Leave)
සෑම කැලැන්ඩර් වර්ෂයකටම අදාලව මෙම වාර්ෂික නිවාඩු දින 14 ක් සේවක සේවිකාවන්ට ලබා ගැනීමට හැක. මෙම අනුමත වාර්ෂික නිවාඩු දින 14 න් 07 ක් අඛන්ඩව ලබා ගත යුතුය. කෙසේ වෙතත් වාර්ෂික නිවාඩු ලබාගැනීමේදී දෙපාර්ශවයේ එකගතාවෙන් සිදු කල යුතුය.
අළුතින් සේවයට බැදුණු සේවක සේවකාවන් සදහා මෙම වාර්ෂික නිවාඩු හිමිවනුයේ ‍දෙවැනි ලිත් වර්ෂයේ සිට වන අතර නිවාඩු ගණන සේවයට බැදුණු කාලය අනුව වෙනස් වේ.
සේවයට බැදුණු කාල වකවානුව                                                2වැනි ලිත් වර්ෂයේදී හිමි වාර්ෂික නිවාඩු ගණන
  • ජන. 01 සිට මාර්තු 31 දක්වා                                                                 14
  • අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා                                                                 10
  • ජුලි 01 සිට සැප්. 30 දක්වා                                                                    07
  • ඔක්. 01 සිට දෙසැ. 31 දක්වා                                                                 04

අනියම් නිවාඩු (Casual Leave)
සේවකයා හෝ සේවිකාවකගේ හදිසි අවශ්‍යතා සදහා ලබා ගැනීමට ඉඩ ප්‍රස්තා පවතී. එක් ලිත් වර්යක් වෙනුවෙන් දින 07 අනියම් නිවාඩු ලෙස ලබාගත හැක. නමුත් සේවයට බැදුණු පළමු ලිත් වර්ෂය තුලදී එක් මාසයකට දින ½ ක් වශයෙන් ලබාගත හැක.
උදාහරණ වශයෙන් සිසිර කුමාර නමැති තරැණයා එක්තරා වෙළද ආයතනයකට රැකියාව සදහා 2012 වසරේ ජුනි මස 10 දින ඇතුළු විය. ඔහුට නිවාඩු ලබා ගැනීමට හැකිවනුයේ මෙම ලිත් වර්ෂය තුළදී සෑම වැඩකරන මාසයක් සදහාම දින ½ බැගින් හෝ දෙමසකට වරක් 01 දිනක් බැගින් අනියම් නිවාඩු වේ. ඔහු සාර්ථකව සේවා කටයුතු ඉදිරි ලිත් වර්ෂයේදී (2013 වර්ෂය) ද සිදුකරන්නේ නම් එම 2 වැනි ලිත් වර්ෂය සදහා වාර්ෂික නිවාඩු 10 ක් සහ අනියම් නිවාඩු 07  ක්ද ලබාගත හැක.

සති (අන්ත) නිවාඩු (Weekly Holidays)
සාප්පු හා කාර්යාල සේවක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සාමාන්‍ය සේවයේ එක් සතියක් තුළදි අවම පැය 28 ක් වැඩ කර ඇත්නම් සතියකට දින 1 ½ ක ගෙවීම් සහිත සති නිවාඩු හිමිවේ. නමුත් පඩි පාලක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සදහා මෙය දින 01 කි. බොහෝමයක් පඩි පාලක සභා යටතේ පාලනය වන ක්ෂේත්‍රවල දී ඉරිදා දිනය මෙලෙස නිවාඩු දිනය ලෙස සැලකේ. නමුත් සමහර ක්ෂේත්‍ර සදහා මෙය සතියේ වෙනත් ඕනෑම දිනයක් විය හැකි අතර උදාහරණ වශයෙන් සිනමාශාලා සේවකයින් සදහා මෙය සදුදා සිට සිකුරාදා දක්වා වන ඕනෑම දිනයකින් එකක් විය හැක.
 ~මෙම ලිපිය අන්තරජාලයෙන් උපුටාගන්නා ලද්දක් බව සලකන්න . 

විශ්වයේ කළු කුහර හා සුදු කුහර

කළු කුහර සුදු කුහර වේ යයි මතයක්
විශ්වයේ ඇති කළු කුහර වල ආයු කාලය අවසානයේදී ඒවා සම්පූර්ණයෙන් ප‍්‍රතිවිරුද්ධ සුදු කුහර බවට පත්වන බවට භෞතික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් නව මතයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ප‍්‍රංශයේ එයික්ස් මාර්සේල් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ කාලෝ රොවෙලි සහ හල් හැගාර්ඞ් පවසා ඇත්තේ අධික ගුරුත්වයකින් හෙබි කළු කුහරයක් තුළට ආලෝකය ඇතුළු සියලූ පදාර්ථ උරා ගැනීමෙන් පසුව සුදු කුහරයන් විසින් ඒ සියල්ල යළි මුදා හැරෙනු ඇති බවයි.

කළු කුහරයක් සුදු කුහරයක් බවට පත්වීම කළු කුහරයක් බිහිවූ විගසම ඇරඹෙන නමුදු ගුරුත්වය විසින් කාලය දිග්ගස්වන නිසා පිටත සිටින නිරීක්ෂකයකුට ඒ සඳහා වසර බිලියන හෝ ටි‍්‍රලියන ගණනක් ගතවන බව දැකිය හැකිවනු ඇතැයි ඔවුන්ගේ මතයේ දැක්වේ.

එම කාලය කළු කුහරයේ ප‍්‍රමාණය මත රඳා පවතින බව රොවෙලි සහ හැගාර්ඞ් දෙපළගේ අදහසයි.
මහා පිපුරුම සිදුවූ සමයේ බිහිවූ කුඩා කළු කුහරයන් මේ වන විට සුදු කුහරයන් බවට පත්වෙමින් තිබිය හැකි බව උපකල්පනය කර ඇති ඔවුන් ඒවා අධි බල කොස්මික් විකිරණ හෝ වෙනත් විකිරණයන් ලෙස නිරීක්ෂණය කළ හැකි බව පවසා ඇත.

උදාහරණයක් ලෙස සුපර්නෝවා පිපුරුම් ලෙස සැලකෙන විකිරණයන් මෙවැනි සුදු කුහරයන් වලින් විමෝචනය කෙරෙන විකිරණයන් විය හැකි බව පැවසේ.

කළු කුහරයක විනාශය පිළිබඳව මින් පෙර ඉදිරිපත් ව තිබූ වාදයේ ඇති විරුද්ධාභාසයන් නව මතය මගින් විසඳාලිය හැකි වුවත් විද්‍යාඥයන් රැසක් රොවෙලි සහ හැගාර්ඞ්ගේ මතය පිළිබඳ ප‍්‍රශ්න මතු කර ඇතැයිද වාර්තා වේ.

~Lankacnews

වැටුනොත් එක්සිය සතිසක් නිරයේ



නිරය, නරකය බොදු ජන මනසෙහි තදින් කාවැදී ඇති කේන්ද්‍රීය සංකල්පයකි. එම ඉගැන්වීම එපමණටම ජන විඥානයට සමීප වන්නට හේතුකාරක වූ හේතූන් රාශියකි. අපි සිතන, පතන කියන දෑ ප්‍රතිඵල වශයෙන් සසර පුරාවටම ලැබෙන බව විශ්වාස කරන කර්ම සංකල්පය පිළිගන්නා වූ අනුගාමිකයෝ වෙමු. ඒ කර්ම සංකල්පයට අනුව දුශ්චරිතය ‍පෝෂණය කරන්නවුන්ට දුක්ඛිත විපාක ලැබෙන ස්ථාන ප්‍රධාන වශයෙන් හතරක් ලෙස දහමේ උගන්වයි. ඒවා අපාය භූමි නොහොත් කාමදුගති භූමි ලෙස හැඳින්වේ. 01. නරක 02. තිරිසන් 03. ප්‍රේත 04. අසුර යනු ඒවාය. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ නරකය හෙවත් නිරය භූමිය ගැනය.
නිරය යනු අපාය භූමියකි. අපාය භූමිවල ස්වභාව වන්නේ ඇස නොහොත් සැප පහවන්නා වූ ඇසිපිය හෙළන තරම්වත් කාලයක් සැපයක් නොවිඳින සත්ව කොට්ඨාසයන් සිටීමය. එසේ දුක්විඳින සත්ව කොට්ඨාසයන් ජීවත්වන භූමි එකසිය තිස්හයක් (136) ධර්මයෙහි ඉගැන්වේ. එයිනුදු ප්‍රධාන නිරය භූමි අටක් වේ. ඒවා නම්,

01. සංජීවය නරකය
02. කාලසූත්‍රය නරකය
03. සංඝාතය නරකය
04. රෞරවය නරකය
05. මහා රෞරවය නරකය
06. තාපය නරකය
07. මහා තාපය නරකය නොහොත් ප්‍රපාතය
08. අවීචිිය නරකය

Niraya
සංජීවය නරකය

මහ ‍පොළොවට යොදුන් පහළොස් දහසක් යටින් පිහිටා ඇති මෙම නිරයේ උපදින්නේ සත්ව ඝාතනය ආදී බරපතළ අකුසල් කර්ම කළවුන්ය. මෙම නිරයේදී යමපල්ලන් දිලිසෙන අවිආයුධවලින් නිරිසතුන් කෑලි කෑලිවලට සිඳින නමුත් නැවත නැවත අකුසලකර්ම බලයෙන් ජීවත්වන අතර ඔවුන් නිරය වර්ෂ ගණනින් අවුරුදු 500ක් එහි දුක්විපාක විඳී. මෙහි එක් දිනක් මනුෂ්‍ය ලෝකයේ වර්ෂවලින් ගණනය කරන්නේ නම් එය වර්ෂ නව ලක්ෂයකි. එවැනි නව ලක්ෂයේ අවුරුදු පන්සියයක් සංජීවය නරකයට වැටුණු නිරිසතුන්ට ගෙවීමට සිදුවේ.

මවුපියන්ට නොසැලකුවොත් කාලසුත්‍රය නරකය

මෙම නිරය සංජීවය නරකයට වඩා යොදුන් පන්සියයක් යටින් පිහිටා ඇත. නිරය පාලනය කරන යමපල්ලන් මෙහි වැටෙන නිරිසතුන් පසුපස ලුහුබැඳ වැටෙන වැටෙන සත්වයන් දැලි නූලෙන් නූල් ගසනු ලබයි. මෙහි අපාදුක් විඳින සත්වයන්ට සංජීවය නරකයට මෙන් වර්ෂ දහසක් ජීවත් වීමට සිදුවේ. මෙහි උපදින සත්ව කොට්ඨාසයන් බොහෝවිට මව්පිය ගුරුවරාදීන්ට නොසැලකූ මිථ්‍යා දෘෂ්ටිකයන් අයත් වේ.

සත්ව ඝාතකයන්ට සංඝාතය නරකය

ගිනියම් වූ ලෝහමය ‍පොළොවේ ඉන තෙක් ගිලී සිටින සතුන් දෙපසින් ලෝහමය පර්වත දෙකක් පැමිණ ඔවුන්ව තෙරපවාගෙන යෑම මෙම සංඝාත නිරයේ ස්වභාවයයි. ගවයන්, එළුවන්, කුකුළන් ආදී වූ සත්වයන් ඝාතනය කොට ජීවත්වූ සත්වයන් මරණින් මතු උපදින්නේ මෙම නරකයේය. ඔවුන්ගේ දුක් සහිත කාලය කාලසූත්‍රය නරකයේ ආයුෂවලට වඩා වැඩිය. එය වර්ෂ දෙදහසක් බව සඳහන් වේ.

නින්දා අපහාස කරන්නන්ට රෞරවය නරකය

මෙම නරකය සංඝාත නිරයටද වඩා යොදුන් පහළොස් දහසක් යටින් පිහිටා ඇත. රෞරවය නරකය දෙආකාර ලෙස දහමේ දැක්වේ. ජාල රෞරවය ඉන් එකකි. නිරි සතුන්ගේ නවදොරින් ගිනිදැල් ඇතුළු වී පිටවන, මහ හඬ පතුරුවන නිරිසතුන් සිටින්නේ මෙම ජාල රෞරව නිරයේය. දූම රෞරවය යනු අනෙක් නිරයයි. එහි උපදින සත්වයන්ගේ නව දොරින් දුම් ඇතුළුවී දහදිය දමමින් දුක්විපාක ලබා දේ. මෙහි නිරය වර්ෂ හාරදහස් නිරාදුක් විඳින්නට සිදුවේ. සත්වයන්ට හිංසාපීඩා කළ. නින්දා, අපහාස කළ පිරිස් මෙන්ම ඉන්ද්‍රජාල මායාකාර ආදී අනුන් රවටා ජීවත්වන්නාවූද සත්වයන් මෙහි වැඩිපුරම දුක්පීඩා විඳී.

අනුන්ගේ ඉඩම්  අල්ලන්නන්ට මහා රෞරවය නරකය

රක්ත වර්ණ රුධිරය වැනි ලෝදියෙන් පිරී ගිය නරකය මෙනමින් හැඳින්වේ. තෙරුවන් සතු වස්තුව, ඉඩකඩම් ආදිය පැහැර ගන්නාවූද ‍පොදු ස්ථාන විනාශ කරන්නාවූද සත්වයන් උපදින්නේ මෙම නිරයේය. ඔවුන්ගේ ආයුෂ අවුරුදු අටදහසකි.

දුෂ්චරිත කළ වුන්ට තාපය නරකය

ගිනි දැල්වලින් ඇවිළගත් ලෝහ හුලක නිරිසතුන් නිශ්චලව සිටුවා ගින්නෙන් රත්කරන නිරය තාපය නම් වේ. මෙහි උපදින්නේ සතුන් මැරීම ආදී දුශ්චරිත කළවුන්ට අකුසල් නොවේ යැයි යනාදී වශයෙන් මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ සත්වයන්ය. මෙහි ආයුෂ නිරය වර්ෂවලින් වසර දහසය දහසකි.

මිත්‍යා දෘෂ්ඨිකයන්ට මහා තාපය නරකය

මෙම නිරයේ ස්වභාවය වන්නේ නිරි සතුන් ලෝහමය පර්වතයකට නංවා යට ඇති හුල්වල ඇනී සිටින ලෙස පහතට පෙරළීමයි. මෙහිදී නිරිසතුන් අතිශයින් තැවීමට ලක්වේ. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් ප්‍රතික්ෂේප කරන මිථ්‍යාදෘෂ්ටික පිරිස් මෙම නිරයේ උපදිති. ඔවුන් දුක් විඳින ආයුෂ ප්‍රමාණය අන්තරා කල්පයකි. අන්තරා කල්පයක් යනු මනුෂ්‍ය ලෝකයේ පරමායුෂ අවුරුදු 10 සිට ක්‍රමයෙන් වැඩිවී අසංඛ්‍යයක් දක්වා නැග නැවත පරමායුෂ අවුරුදු 10 දක්වා බැසීමට ගතවන කාලපරිච්ජේදයයි. මෙම කාල වකවානුව නූතන ගණනය කිරීම්වලට පවා මැනගත හැකි කාලයක් නොවේ.

ප්‍රතිමා දාගැබ් වනසන්නන්ට ආවීචිය නරකය

මව්පියන්, රහතුන් මැරුවා වූද, බුදුන් වහන්සේගේ ශරීරයේ ‍ලේ සෙලවීම කළා වූද, සංඝ භේදය කළා වූද, ආරාම දාගැබ්, බෝමලු, ප්‍රතිමා විනාශ කළා වූද සත්වයන් උපදින්නේ මෙම නරකයේය. දේවදත්ත තෙරුන් මරණින් පසු උපත ලැබුවේද මෙම නරකයේය. මෙහි ආයුෂ එක් කල්පයකි. කල්පයක් යනු අන්තරාය කල්ප හතරක එකතුවකි.

මෙම ප්‍රධාන නිරයන් අටට පරිවාර නිරයන් දහසය බැගින් වේ. මෙම නිරයයන්හි සැකැස්ම පිළිබඳ දහමෙහි සඳහන් වන්නේ ඒවා ඝන ලෝහමය තහඩුවලින් වැසුණු සතරා කාර වූ කොටුවක් ලෙසය. සෑම නිරයක්ම ඉහළ ඝන ලෝහමය පියනකින් වැසී ඇත. එම සතරාකාර වූ කොටුවේ කොන් සතරෙහි සතර බැගින්වූ පරිවාර නිරයන් සතරකි. එලෙස දහසය බැගින්වූ පරිවාර නිරයන් එකසිය විසි අටක් වේ. එම පරිවාර නිරයන් එකසිය විසිඅටට ප්‍රධාන නිරයන් අටද එකතුවූ විට නිරයන් සියල්ල එකසිය තිස් හයකි. වීදාගම මාහිමියන් ලෝවැඩ සඟරාවේදී ‘වැටුනොත් එක්සිය සතිසක් නිරයේ’ යනුවෙන් දක්වන්නේ එයයි. නිරයන්හි දුක්විඳින සත්වයන්ගේ අපමණ දුක්අ¼ෙදා්නා මෙන්ම එම දුක් පිළිබඳ මනරම් විස්තරයක් ජාතක පාළියේ නිමි ජාතකයේ සඳහන් වේ. පෙර අප මහ බෝසතාණන් නිමි මහරජු වී උපත ලැබූ ආත්මභාවය මෙහි විස්තර කරයි. ශක්‍ර දෙවිදුන්ගේ නියමයෙන් මාතලී නම් දිව්‍ය රථචාර්්‍යයා සමග නිමි රජු දෙව්ලොව බලා පිටත් වේ. එම ගමනේදී දෙව්ලොව සැප විඳින සත්වයන් ගැන මෙන්ම නිරයන්හි අනන්ත දුක්පීඩාවන් විඳින නිරිසතුන් නිමි රජු සියැසින්ම දකී. ඒ එක් එක් නිරයන්හි දුක්විඳින සත්වයන් ගැන නිමි රජු මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් විමසනු ලබයි. මාතලී දිව්‍ය පුත්‍රයා ඊට දෙන පිළිතුරු දුක්පීඩා විඳින නිරිසතුන් ගැන මනරම් සිතුවම් මවාපාන්නකි. එම නිමි ජාතකයේ එන නිරයන් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

නිමි රජු මාතලී දිව්‍ය පුත්‍රයා සමග යන ගමනේදී තුන් ගව්වක් පමණ ශරීර ඇති නිරි සතුන් මහා ඇතුන් පමණ විශාල රතුපාට හා කබර වර්ණ ඇති බල්ලන් විසින් එළවාගෙන ගොස් කෙණ්ඩාමාංශය හපා ‍පොළොවේ ගසා ඇට පමණක් ඉතිරිකොට මස් ඉරා කන බියකරු දර්ශනය දුටුවේය. එපමණක් නොව ලෝහ තුඩු ඇති ගිජුලිහිණියෝ එම නිරි සතුන්ගේ ඇටවලට ඇණ බිඳ ඇටමිදුලු කති. මෙම දර්ශනයෙන් අතිශය බියට පත්වූ රජු ඊට හේතු විමසයි. එවිට මාතලී දිව්‍ය පුත්‍රයා කියනුයේ ලෝභකමින් අනුන්ට කිසිවක් නොදී අනුන් දෙන දේද වළක්වාලන භික්ෂුන්ට නින්දා අපහාස සිදුකරන සත්වයන්ගේ ශරීර මෙලෙස දුක්විඳින බවයි. මාතලී දිව්‍ය පුත්‍රයා වෙනත් නිරයක් කරා රථය පැදවීය. එහි ගිනි දැල්වලින් වටවූ මහත්වූ ලෝහ සැළියක් දක්නට ලැබේ. එහි ලෝදිය පිරී පවතී. මෙම නිරයේ උපන් සත්වයන් යමපල්ලන්ගේ ග්‍රහණයට හසුවී ඔවුන්ගේ පා උඩට සිටින සේද හිස පහළට වැටෙන සේද කොට ලෝදිය සැළියට දමනු ලැබේ. නිරි සතුන්ගේ හිස් එහි පෙණ දමමින් පුපුරා පැසේ. එය දුටු නිමි රජු අතිශය බියට පත්වී මොවුන් කුමන පව්කොට මෙලෙස උපත ලැබුවේ දැයි විමසනු ලබයි. මාතලී දිව්‍ය පුත්‍රයා කියනුයේ සිල්වත් වූ යහපත් වූ ආචාරශීලී භික්ෂුන් වහන්සේලාට හිංසාපීඩා කළ සත්වයන් මෙසේ ලෝදිය මත පැසෙමින් දුක්විඳින බවය.

මේ නිමි ජාතකය නිරයයන්හි පැසි පැසී අනෙක්විධ දුක් පීඩාවන්ට හසුවූ සත්ව කොට්ඨාසයන් ගැන දීර්ඝ විස්තරයක් සිදුකරනු ලබයි. එහි එන පව්කම් විමසන විට පෙනී යන්නේ වත්මන් සමාජයේද ඊට නොදවෛනි පාපකර්ම සිදුකරන බවයි. ලෝකය විවිධාකාරය. එසේම විෂමාකාරය. පියවි ඇසට පෙනෙන දෑට වඩා නොපෙනෙන දෑ බොහෝය. බුදුන් දවස ජීවත් වූ පාපකර්ම සිදුකළ බොහෝ සත්වයෝ මේ මොහොතෙයිද මේ කුමන හෝ නිරයක අපාදුක් විඳිති. එහි කිසිදු සැකයක් නොමැත. මේ මොහොතෙහිද එකී නිරයන්වලට වැටී දුක්විඳින පිරිස් අපමණය. මතුවටද එය දෙගුණ තෙගුණවනු මිස අඩුවක් නම් නොවනු ඇත. එබැවින් ඔබ නුවණින් විමසා මේ ගතවන හැම මොහොතකම සිතින්, කයින්, වදනින් යහපතක්ම කොට අතිශය බියකරු වූ නිරයන්හි නූපදින්නටම වගබලාගනු මැනවි.

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි

Heat Maps of The Body | සිරුරේ තාප සිතියම්

ෆින්ලන්ත පර්යේෂකයන් පිරිසක් විසින් වෙනස් සංස්කෘතින් ගණනාවකට අයත් පුද්ගලයන් විශාල ගණනක් ඇසුරින් නවීන විද්‍යානුකුලව කරනලද සොයාගැනීමකට අනුව , මිනිසුන් ඔවුන්ගේ විවිද මනෝභාවයන්ට අනුව සිරුරින් පිටකරන කරන තාපය සිතියම් ගතකරන ලදී .මේවා ආධාරයෙන් ඉදිරියේදී මානසික ගැටලුවලට විසදුම් සෙවීම ඔවුන්ගේ අභිප්‍රායයි . පහත දැක්වෙන්නේ එම තාප සිතියම් වේ .