අමරණීයත්වය | Immortality



මරණය පරදවා සදාකාලිකව ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳ මිනිසුන් සියවස් ගණනාවක සිට පර්යේෂණ කරමින් සිටියි. මෙතෙක් කාලයක් ගොඩබිම සිදුකළ මේ පර්යේෂණ දැන් සාගරය දෙසට ද යොමුවී ඇත.
ක්යෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා ජල්ලිමය මුහුදු සතුන් සම්බන්ධයෙන් 1979 සිට අධ්‍යයනය කළේය.රතු පැහැති ජෙලි ෆිෂ් විශේෂයක් කෙරෙහි ඔහුගේ අධ්‍යයන කටයුතු වැඩිපුර යොමුවී පැවතිණි.

ඔහු ඒ ගැන මෙසේ කියයි.
‘‘ එක් දිනක් මගේ ප්ලවාංග සහිත දැලේ රතු පැහැති කුඩා ජෙලි ෆිෂ් කෙනෙකු සිටියා. තියුණු කෝටු උගේ සිරුරේ ඇනී තිබුණා. ඒ ගැන දුක සිතී මා එම කෝටු ගලවා ඉවත් කළා. මගේ අපේක්ෂාව වුණේ මේ සතා නැවත යථා තත්ත්වයට පත්කර පිහිනා යාමට සැළැස්වීමයි. එසේ කිරීමට නොහැකිව ඌ හැකිළුණා. නමුත් ඌ ඉතා ඉක්මණින් තිරිහන් වුණා. මේ කුඩා මුහුදු සතා යොදා සදාතනික ජීවිතය පිළිබඳ යම් අදහසක් ගත හැකියැයි මට දැඩි විශ්වාසයක් ඇතිවුණා. “

රතු ජෙලිෆිෂ් සම්බන්ධයෙන් පර්යේෂණයේ නිරත වූ මහාචාර්ය කුබෝටා පවසන්නේ වැඩුණු ජෙලිෆිෂ් හෝ මෙඩුසාවෙක් (ජෙලිෆිෂ්ගේ කුඩා අවධිය හඳුන්වන්නේ මෙඩුසාවන් යනුවෙනි) තුවාලයක් සිදුවූ විට මුහුදු පත්ලට ගමන් කරන බවයි. එහිදී තම බිළිඳු අවධියට යලි රූපාන්තරයණය ආපස්සට ගෙන යන මේ අපූරු සත්ත්වයා මුලින්ම අලුත් බහුපාදිකයෙක් බවට පත්වෙයි. ඉන්පසු මේ සතා යළි නව ජෙලි ෆිෂ් කෙනකු බවට පත්වේ. වැඩුණු සතෙක් බිළිඳකු බවට රූපාන්තරණය වීමට මාස දෙකක පමණ කාලයක් ගතවන බව මහාචාර්යවරයා කියයි.

මහාචාර්ය කුබෝටා සිය පර්යේෂණාගාරයේ දී එක් ජෙලිෆිෂ් සතකු 12 වතාවක් සාර්ථක ව තිරිහන් කළේය.
‘‘ මේ සියල්ල සාර්ථක වුවත් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. තිරිහන් වීම සම්බන්ධ යම් වැදගත් සාක්ෂියක් රතු ජෙලිෆිෂ් ගෙන් අපට ලබාගත හැකියි. එය මිනිසුන්ට ආදේශ කළ හැකි වුවහොත් මිනිසා අමරණීයත්වයට ගෙන යා හැකි වේවි. “

read more
~මෙම ලිපිය අන්තරජාලයෙන් උපුටාගන්නා ලද්දක් බව සලකන්න

සේවකයන්ගේ නිවාඩු අයිතිය | Law on Leaves

ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එහි කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සේවක සේවිකාවන් යොදවා ගැනීම සිදුවේ. මෙහිදී ආයතනයක සේවයේ යෙදෙන්නා සේවාදායකයා (Employee) ලෙස සැලකෙන අතර සේවාවෙහි යොදවන්නා සේවා යෝජකයා (Employer) ලෙසද හැදින්වේ.
මෙම ලිපිය මගින් රාජ්‍ය නොවන අනෙකුත් ආයතනවල සේවයේ යෙදෙන සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු සම්බන්ධව ඉතා වැදගත් කරැණු රැසක් ඉදිරිපත් කෙරේ. මෙම කරැණු සම්බන්ධව සලකන විට ප්‍රධාන වශයෙන් නීතිමය පණත් දෙකක් අදාල වේ. එනම්,
  1. සාප්පු හා කාර්යාල සේවක පණත
  2. පඩිපාලක සභා ආඥා පණත
සාප්පු හා කාර්යාල පණතට අදාලව ගත්කල සාප්පු වශයෙන් සැලකෙන්නේ තොග සහ සිල්ලර වෙළද ව්‍යාපාර, ආහාරපාන අලෙවි සැල්, බේකරි, සිනමා ශාලා, කොණ්ඩා කපන සහ රෑපලාවන්‍යාගාර, නේවාසික හෝටල්, ඇදුම් මසන සාප්පු, ඛණ්ජ තෙල් විකුණුම් ස්ථාන, විවිධ අලෙවිසැල් සහ ගනුදෙනුකරැවන් සදහා භාණ්ඩ හෝ සේවා සපයන ගබඩා හෝ මධ්‍යස්ථාන සදහන් කල හැක.
කාර්යාල ලෙස සැලකෙනුයේ ව්‍යාපාරික කාර්යයන් සදහා පවත්වාගෙන යනු ලබන කාර්යාල, හෝටල්, සමාජශාලා, සිනමා ශාලා, පාසැල්, කර්මාන්තශාලා ආදිය වේ.
ඉහත සදහන් කල පණත් දෙකට අනුව සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු මොනවාද යන්න දැන් විස්තර කරමු.
ව්‍යවස්ථාපිත නිවාඩු (Statutory Holidays)
ඉහත දැක්වු පණත් දෙකම යටතට අයත් සේවක සේවිකාවන් රජය විසින් වර්ෂයක් සදහා ප්‍රකාශයට පත්කල විශේෂ වෙළද නිවාඩු 08 කට හිමිකම් ලබයි.  මේ යටතේ සැලකෙන නිවාඩු වනුයේ,
  • ජාතික නිදහස් දිනය
  • දෙමළ තෛපොන්ගල් දිනය
  • මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
  • සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනට පෙර දිනය‍
  • සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනය
  • මැයි 01 දින කම්කරැ දිනය
  • වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
  • නත්තල් දිනය
ඉහත සදහන් ව්‍යවස්ථාපිත නිවාඩු සති නිවාඩු දිනයකට යෙදී තිබුණි නම් එම දිනයට හිලව් ලෙස නිවාඩු දිනයක් හෝ දින ½ ක් ලබාදිය යුතුය (පඩි පාලක සභා පණත යටතට ගැනෙන සේවක සේවිකාවන්ට අදාල නොවේ.)
 පුර පසලොස්වක පොහොය දින නිවාඩු (Full Moon Poya Holidays)
සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම නිවාඩු දිනයක් ලෙස සලකා නිවාඩු ලබාගැනීමට ඉහත පණත් දෙක යටතට අයත් සේවක සේවිකාවන්ට හැකියාව පවතී.
වාර්ෂික නිවාඩු (Annual Leave)
සෑම කැලැන්ඩර් වර්ෂයකටම අදාලව මෙම වාර්ෂික නිවාඩු දින 14 ක් සේවක සේවිකාවන්ට ලබා ගැනීමට හැක. මෙම අනුමත වාර්ෂික නිවාඩු දින 14 න් 07 ක් අඛන්ඩව ලබා ගත යුතුය. කෙසේ වෙතත් වාර්ෂික නිවාඩු ලබාගැනීමේදී දෙපාර්ශවයේ එකගතාවෙන් සිදු කල යුතුය.
අළුතින් සේවයට බැදුණු සේවක සේවකාවන් සදහා මෙම වාර්ෂික නිවාඩු හිමිවනුයේ ‍දෙවැනි ලිත් වර්ෂයේ සිට වන අතර නිවාඩු ගණන සේවයට බැදුණු කාලය අනුව වෙනස් වේ.
සේවයට බැදුණු කාල වකවානුව                                                2වැනි ලිත් වර්ෂයේදී හිමි වාර්ෂික නිවාඩු ගණන
  • ජන. 01 සිට මාර්තු 31 දක්වා                                                                 14
  • අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා                                                                 10
  • ජුලි 01 සිට සැප්. 30 දක්වා                                                                    07
  • ඔක්. 01 සිට දෙසැ. 31 දක්වා                                                                 04

අනියම් නිවාඩු (Casual Leave)
සේවකයා හෝ සේවිකාවකගේ හදිසි අවශ්‍යතා සදහා ලබා ගැනීමට ඉඩ ප්‍රස්තා පවතී. එක් ලිත් වර්යක් වෙනුවෙන් දින 07 අනියම් නිවාඩු ලෙස ලබාගත හැක. නමුත් සේවයට බැදුණු පළමු ලිත් වර්ෂය තුලදී එක් මාසයකට දින ½ ක් වශයෙන් ලබාගත හැක.
උදාහරණ වශයෙන් සිසිර කුමාර නමැති තරැණයා එක්තරා වෙළද ආයතනයකට රැකියාව සදහා 2012 වසරේ ජුනි මස 10 දින ඇතුළු විය. ඔහුට නිවාඩු ලබා ගැනීමට හැකිවනුයේ මෙම ලිත් වර්ෂය තුළදී සෑම වැඩකරන මාසයක් සදහාම දින ½ බැගින් හෝ දෙමසකට වරක් 01 දිනක් බැගින් අනියම් නිවාඩු වේ. ඔහු සාර්ථකව සේවා කටයුතු ඉදිරි ලිත් වර්ෂයේදී (2013 වර්ෂය) ද සිදුකරන්නේ නම් එම 2 වැනි ලිත් වර්ෂය සදහා වාර්ෂික නිවාඩු 10 ක් සහ අනියම් නිවාඩු 07  ක්ද ලබාගත හැක.

සති (අන්ත) නිවාඩු (Weekly Holidays)
සාප්පු හා කාර්යාල සේවක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සාමාන්‍ය සේවයේ එක් සතියක් තුළදි අවම පැය 28 ක් වැඩ කර ඇත්නම් සතියකට දින 1 ½ ක ගෙවීම් සහිත සති නිවාඩු හිමිවේ. නමුත් පඩි පාලක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සදහා මෙය දින 01 කි. බොහෝමයක් පඩි පාලක සභා යටතේ පාලනය වන ක්ෂේත්‍රවල දී ඉරිදා දිනය මෙලෙස නිවාඩු දිනය ලෙස සැලකේ. නමුත් සමහර ක්ෂේත්‍ර සදහා මෙය සතියේ වෙනත් ඕනෑම දිනයක් විය හැකි අතර උදාහරණ වශයෙන් සිනමාශාලා සේවකයින් සදහා මෙය සදුදා සිට සිකුරාදා දක්වා වන ඕනෑම දිනයකින් එකක් විය හැක.
 ~මෙම ලිපිය අන්තරජාලයෙන් උපුටාගන්නා ලද්දක් බව සලකන්න . 

විශ්වයේ කළු කුහර හා සුදු කුහර

කළු කුහර සුදු කුහර වේ යයි මතයක්
විශ්වයේ ඇති කළු කුහර වල ආයු කාලය අවසානයේදී ඒවා සම්පූර්ණයෙන් ප‍්‍රතිවිරුද්ධ සුදු කුහර බවට පත්වන බවට භෞතික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් නව මතයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ප‍්‍රංශයේ එයික්ස් මාර්සේල් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ කාලෝ රොවෙලි සහ හල් හැගාර්ඞ් පවසා ඇත්තේ අධික ගුරුත්වයකින් හෙබි කළු කුහරයක් තුළට ආලෝකය ඇතුළු සියලූ පදාර්ථ උරා ගැනීමෙන් පසුව සුදු කුහරයන් විසින් ඒ සියල්ල යළි මුදා හැරෙනු ඇති බවයි.

කළු කුහරයක් සුදු කුහරයක් බවට පත්වීම කළු කුහරයක් බිහිවූ විගසම ඇරඹෙන නමුදු ගුරුත්වය විසින් කාලය දිග්ගස්වන නිසා පිටත සිටින නිරීක්ෂකයකුට ඒ සඳහා වසර බිලියන හෝ ටි‍්‍රලියන ගණනක් ගතවන බව දැකිය හැකිවනු ඇතැයි ඔවුන්ගේ මතයේ දැක්වේ.

එම කාලය කළු කුහරයේ ප‍්‍රමාණය මත රඳා පවතින බව රොවෙලි සහ හැගාර්ඞ් දෙපළගේ අදහසයි.
මහා පිපුරුම සිදුවූ සමයේ බිහිවූ කුඩා කළු කුහරයන් මේ වන විට සුදු කුහරයන් බවට පත්වෙමින් තිබිය හැකි බව උපකල්පනය කර ඇති ඔවුන් ඒවා අධි බල කොස්මික් විකිරණ හෝ වෙනත් විකිරණයන් ලෙස නිරීක්ෂණය කළ හැකි බව පවසා ඇත.

උදාහරණයක් ලෙස සුපර්නෝවා පිපුරුම් ලෙස සැලකෙන විකිරණයන් මෙවැනි සුදු කුහරයන් වලින් විමෝචනය කෙරෙන විකිරණයන් විය හැකි බව පැවසේ.

කළු කුහරයක විනාශය පිළිබඳව මින් පෙර ඉදිරිපත් ව තිබූ වාදයේ ඇති විරුද්ධාභාසයන් නව මතය මගින් විසඳාලිය හැකි වුවත් විද්‍යාඥයන් රැසක් රොවෙලි සහ හැගාර්ඞ්ගේ මතය පිළිබඳ ප‍්‍රශ්න මතු කර ඇතැයිද වාර්තා වේ.

~Lankacnews

වැටුනොත් එක්සිය සතිසක් නිරයේ



නිරය, නරකය බොදු ජන මනසෙහි තදින් කාවැදී ඇති කේන්ද්‍රීය සංකල්පයකි. එම ඉගැන්වීම එපමණටම ජන විඥානයට සමීප වන්නට හේතුකාරක වූ හේතූන් රාශියකි. අපි සිතන, පතන කියන දෑ ප්‍රතිඵල වශයෙන් සසර පුරාවටම ලැබෙන බව විශ්වාස කරන කර්ම සංකල්පය පිළිගන්නා වූ අනුගාමිකයෝ වෙමු. ඒ කර්ම සංකල්පයට අනුව දුශ්චරිතය ‍පෝෂණය කරන්නවුන්ට දුක්ඛිත විපාක ලැබෙන ස්ථාන ප්‍රධාන වශයෙන් හතරක් ලෙස දහමේ උගන්වයි. ඒවා අපාය භූමි නොහොත් කාමදුගති භූමි ලෙස හැඳින්වේ. 01. නරක 02. තිරිසන් 03. ප්‍රේත 04. අසුර යනු ඒවාය. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ නරකය හෙවත් නිරය භූමිය ගැනය.
නිරය යනු අපාය භූමියකි. අපාය භූමිවල ස්වභාව වන්නේ ඇස නොහොත් සැප පහවන්නා වූ ඇසිපිය හෙළන තරම්වත් කාලයක් සැපයක් නොවිඳින සත්ව කොට්ඨාසයන් සිටීමය. එසේ දුක්විඳින සත්ව කොට්ඨාසයන් ජීවත්වන භූමි එකසිය තිස්හයක් (136) ධර්මයෙහි ඉගැන්වේ. එයිනුදු ප්‍රධාන නිරය භූමි අටක් වේ. ඒවා නම්,

01. සංජීවය නරකය
02. කාලසූත්‍රය නරකය
03. සංඝාතය නරකය
04. රෞරවය නරකය
05. මහා රෞරවය නරකය
06. තාපය නරකය
07. මහා තාපය නරකය නොහොත් ප්‍රපාතය
08. අවීචිිය නරකය

Niraya
සංජීවය නරකය

මහ ‍පොළොවට යොදුන් පහළොස් දහසක් යටින් පිහිටා ඇති මෙම නිරයේ උපදින්නේ සත්ව ඝාතනය ආදී බරපතළ අකුසල් කර්ම කළවුන්ය. මෙම නිරයේදී යමපල්ලන් දිලිසෙන අවිආයුධවලින් නිරිසතුන් කෑලි කෑලිවලට සිඳින නමුත් නැවත නැවත අකුසලකර්ම බලයෙන් ජීවත්වන අතර ඔවුන් නිරය වර්ෂ ගණනින් අවුරුදු 500ක් එහි දුක්විපාක විඳී. මෙහි එක් දිනක් මනුෂ්‍ය ලෝකයේ වර්ෂවලින් ගණනය කරන්නේ නම් එය වර්ෂ නව ලක්ෂයකි. එවැනි නව ලක්ෂයේ අවුරුදු පන්සියයක් සංජීවය නරකයට වැටුණු නිරිසතුන්ට ගෙවීමට සිදුවේ.

මවුපියන්ට නොසැලකුවොත් කාලසුත්‍රය නරකය

මෙම නිරය සංජීවය නරකයට වඩා යොදුන් පන්සියයක් යටින් පිහිටා ඇත. නිරය පාලනය කරන යමපල්ලන් මෙහි වැටෙන නිරිසතුන් පසුපස ලුහුබැඳ වැටෙන වැටෙන සත්වයන් දැලි නූලෙන් නූල් ගසනු ලබයි. මෙහි අපාදුක් විඳින සත්වයන්ට සංජීවය නරකයට මෙන් වර්ෂ දහසක් ජීවත් වීමට සිදුවේ. මෙහි උපදින සත්ව කොට්ඨාසයන් බොහෝවිට මව්පිය ගුරුවරාදීන්ට නොසැලකූ මිථ්‍යා දෘෂ්ටිකයන් අයත් වේ.

සත්ව ඝාතකයන්ට සංඝාතය නරකය

ගිනියම් වූ ලෝහමය ‍පොළොවේ ඉන තෙක් ගිලී සිටින සතුන් දෙපසින් ලෝහමය පර්වත දෙකක් පැමිණ ඔවුන්ව තෙරපවාගෙන යෑම මෙම සංඝාත නිරයේ ස්වභාවයයි. ගවයන්, එළුවන්, කුකුළන් ආදී වූ සත්වයන් ඝාතනය කොට ජීවත්වූ සත්වයන් මරණින් මතු උපදින්නේ මෙම නරකයේය. ඔවුන්ගේ දුක් සහිත කාලය කාලසූත්‍රය නරකයේ ආයුෂවලට වඩා වැඩිය. එය වර්ෂ දෙදහසක් බව සඳහන් වේ.

නින්දා අපහාස කරන්නන්ට රෞරවය නරකය

මෙම නරකය සංඝාත නිරයටද වඩා යොදුන් පහළොස් දහසක් යටින් පිහිටා ඇත. රෞරවය නරකය දෙආකාර ලෙස දහමේ දැක්වේ. ජාල රෞරවය ඉන් එකකි. නිරි සතුන්ගේ නවදොරින් ගිනිදැල් ඇතුළු වී පිටවන, මහ හඬ පතුරුවන නිරිසතුන් සිටින්නේ මෙම ජාල රෞරව නිරයේය. දූම රෞරවය යනු අනෙක් නිරයයි. එහි උපදින සත්වයන්ගේ නව දොරින් දුම් ඇතුළුවී දහදිය දමමින් දුක්විපාක ලබා දේ. මෙහි නිරය වර්ෂ හාරදහස් නිරාදුක් විඳින්නට සිදුවේ. සත්වයන්ට හිංසාපීඩා කළ. නින්දා, අපහාස කළ පිරිස් මෙන්ම ඉන්ද්‍රජාල මායාකාර ආදී අනුන් රවටා ජීවත්වන්නාවූද සත්වයන් මෙහි වැඩිපුරම දුක්පීඩා විඳී.

අනුන්ගේ ඉඩම්  අල්ලන්නන්ට මහා රෞරවය නරකය

රක්ත වර්ණ රුධිරය වැනි ලෝදියෙන් පිරී ගිය නරකය මෙනමින් හැඳින්වේ. තෙරුවන් සතු වස්තුව, ඉඩකඩම් ආදිය පැහැර ගන්නාවූද ‍පොදු ස්ථාන විනාශ කරන්නාවූද සත්වයන් උපදින්නේ මෙම නිරයේය. ඔවුන්ගේ ආයුෂ අවුරුදු අටදහසකි.

දුෂ්චරිත කළ වුන්ට තාපය නරකය

ගිනි දැල්වලින් ඇවිළගත් ලෝහ හුලක නිරිසතුන් නිශ්චලව සිටුවා ගින්නෙන් රත්කරන නිරය තාපය නම් වේ. මෙහි උපදින්නේ සතුන් මැරීම ආදී දුශ්චරිත කළවුන්ට අකුසල් නොවේ යැයි යනාදී වශයෙන් මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ සත්වයන්ය. මෙහි ආයුෂ නිරය වර්ෂවලින් වසර දහසය දහසකි.

මිත්‍යා දෘෂ්ඨිකයන්ට මහා තාපය නරකය

මෙම නිරයේ ස්වභාවය වන්නේ නිරි සතුන් ලෝහමය පර්වතයකට නංවා යට ඇති හුල්වල ඇනී සිටින ලෙස පහතට පෙරළීමයි. මෙහිදී නිරිසතුන් අතිශයින් තැවීමට ලක්වේ. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් ප්‍රතික්ෂේප කරන මිථ්‍යාදෘෂ්ටික පිරිස් මෙම නිරයේ උපදිති. ඔවුන් දුක් විඳින ආයුෂ ප්‍රමාණය අන්තරා කල්පයකි. අන්තරා කල්පයක් යනු මනුෂ්‍ය ලෝකයේ පරමායුෂ අවුරුදු 10 සිට ක්‍රමයෙන් වැඩිවී අසංඛ්‍යයක් දක්වා නැග නැවත පරමායුෂ අවුරුදු 10 දක්වා බැසීමට ගතවන කාලපරිච්ජේදයයි. මෙම කාල වකවානුව නූතන ගණනය කිරීම්වලට පවා මැනගත හැකි කාලයක් නොවේ.

ප්‍රතිමා දාගැබ් වනසන්නන්ට ආවීචිය නරකය

මව්පියන්, රහතුන් මැරුවා වූද, බුදුන් වහන්සේගේ ශරීරයේ ‍ලේ සෙලවීම කළා වූද, සංඝ භේදය කළා වූද, ආරාම දාගැබ්, බෝමලු, ප්‍රතිමා විනාශ කළා වූද සත්වයන් උපදින්නේ මෙම නරකයේය. දේවදත්ත තෙරුන් මරණින් පසු උපත ලැබුවේද මෙම නරකයේය. මෙහි ආයුෂ එක් කල්පයකි. කල්පයක් යනු අන්තරාය කල්ප හතරක එකතුවකි.

මෙම ප්‍රධාන නිරයන් අටට පරිවාර නිරයන් දහසය බැගින් වේ. මෙම නිරයයන්හි සැකැස්ම පිළිබඳ දහමෙහි සඳහන් වන්නේ ඒවා ඝන ලෝහමය තහඩුවලින් වැසුණු සතරා කාර වූ කොටුවක් ලෙසය. සෑම නිරයක්ම ඉහළ ඝන ලෝහමය පියනකින් වැසී ඇත. එම සතරාකාර වූ කොටුවේ කොන් සතරෙහි සතර බැගින්වූ පරිවාර නිරයන් සතරකි. එලෙස දහසය බැගින්වූ පරිවාර නිරයන් එකසිය විසි අටක් වේ. එම පරිවාර නිරයන් එකසිය විසිඅටට ප්‍රධාන නිරයන් අටද එකතුවූ විට නිරයන් සියල්ල එකසිය තිස් හයකි. වීදාගම මාහිමියන් ලෝවැඩ සඟරාවේදී ‘වැටුනොත් එක්සිය සතිසක් නිරයේ’ යනුවෙන් දක්වන්නේ එයයි. නිරයන්හි දුක්විඳින සත්වයන්ගේ අපමණ දුක්අ¼ෙදා්නා මෙන්ම එම දුක් පිළිබඳ මනරම් විස්තරයක් ජාතක පාළියේ නිමි ජාතකයේ සඳහන් වේ. පෙර අප මහ බෝසතාණන් නිමි මහරජු වී උපත ලැබූ ආත්මභාවය මෙහි විස්තර කරයි. ශක්‍ර දෙවිදුන්ගේ නියමයෙන් මාතලී නම් දිව්‍ය රථචාර්්‍යයා සමග නිමි රජු දෙව්ලොව බලා පිටත් වේ. එම ගමනේදී දෙව්ලොව සැප විඳින සත්වයන් ගැන මෙන්ම නිරයන්හි අනන්ත දුක්පීඩාවන් විඳින නිරිසතුන් නිමි රජු සියැසින්ම දකී. ඒ එක් එක් නිරයන්හි දුක්විඳින සත්වයන් ගැන නිමි රජු මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් විමසනු ලබයි. මාතලී දිව්‍ය පුත්‍රයා ඊට දෙන පිළිතුරු දුක්පීඩා විඳින නිරිසතුන් ගැන මනරම් සිතුවම් මවාපාන්නකි. එම නිමි ජාතකයේ එන නිරයන් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

නිමි රජු මාතලී දිව්‍ය පුත්‍රයා සමග යන ගමනේදී තුන් ගව්වක් පමණ ශරීර ඇති නිරි සතුන් මහා ඇතුන් පමණ විශාල රතුපාට හා කබර වර්ණ ඇති බල්ලන් විසින් එළවාගෙන ගොස් කෙණ්ඩාමාංශය හපා ‍පොළොවේ ගසා ඇට පමණක් ඉතිරිකොට මස් ඉරා කන බියකරු දර්ශනය දුටුවේය. එපමණක් නොව ලෝහ තුඩු ඇති ගිජුලිහිණියෝ එම නිරි සතුන්ගේ ඇටවලට ඇණ බිඳ ඇටමිදුලු කති. මෙම දර්ශනයෙන් අතිශය බියට පත්වූ රජු ඊට හේතු විමසයි. එවිට මාතලී දිව්‍ය පුත්‍රයා කියනුයේ ලෝභකමින් අනුන්ට කිසිවක් නොදී අනුන් දෙන දේද වළක්වාලන භික්ෂුන්ට නින්දා අපහාස සිදුකරන සත්වයන්ගේ ශරීර මෙලෙස දුක්විඳින බවයි. මාතලී දිව්‍ය පුත්‍රයා වෙනත් නිරයක් කරා රථය පැදවීය. එහි ගිනි දැල්වලින් වටවූ මහත්වූ ලෝහ සැළියක් දක්නට ලැබේ. එහි ලෝදිය පිරී පවතී. මෙම නිරයේ උපන් සත්වයන් යමපල්ලන්ගේ ග්‍රහණයට හසුවී ඔවුන්ගේ පා උඩට සිටින සේද හිස පහළට වැටෙන සේද කොට ලෝදිය සැළියට දමනු ලැබේ. නිරි සතුන්ගේ හිස් එහි පෙණ දමමින් පුපුරා පැසේ. එය දුටු නිමි රජු අතිශය බියට පත්වී මොවුන් කුමන පව්කොට මෙලෙස උපත ලැබුවේ දැයි විමසනු ලබයි. මාතලී දිව්‍ය පුත්‍රයා කියනුයේ සිල්වත් වූ යහපත් වූ ආචාරශීලී භික්ෂුන් වහන්සේලාට හිංසාපීඩා කළ සත්වයන් මෙසේ ලෝදිය මත පැසෙමින් දුක්විඳින බවය.

මේ නිමි ජාතකය නිරයයන්හි පැසි පැසී අනෙක්විධ දුක් පීඩාවන්ට හසුවූ සත්ව කොට්ඨාසයන් ගැන දීර්ඝ විස්තරයක් සිදුකරනු ලබයි. එහි එන පව්කම් විමසන විට පෙනී යන්නේ වත්මන් සමාජයේද ඊට නොදවෛනි පාපකර්ම සිදුකරන බවයි. ලෝකය විවිධාකාරය. එසේම විෂමාකාරය. පියවි ඇසට පෙනෙන දෑට වඩා නොපෙනෙන දෑ බොහෝය. බුදුන් දවස ජීවත් වූ පාපකර්ම සිදුකළ බොහෝ සත්වයෝ මේ මොහොතෙයිද මේ කුමන හෝ නිරයක අපාදුක් විඳිති. එහි කිසිදු සැකයක් නොමැත. මේ මොහොතෙහිද එකී නිරයන්වලට වැටී දුක්විඳින පිරිස් අපමණය. මතුවටද එය දෙගුණ තෙගුණවනු මිස අඩුවක් නම් නොවනු ඇත. එබැවින් ඔබ නුවණින් විමසා මේ ගතවන හැම මොහොතකම සිතින්, කයින්, වදනින් යහපතක්ම කොට අතිශය බියකරු වූ නිරයන්හි නූපදින්නටම වගබලාගනු මැනවි.

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි